ව්‍යාපාරයක් ආරම්භ කරමු 12: රේණුගේ කතාව 2 කොටස, ණය, අය වැය ඥානය සහ මුදල් පරිපාලනය


ව්‍යාපාරයක් ආරම්භ කරමු පාඨමාලාවේ 12 කොටස: අපි කලින් කතා කල රේණුගේ ව්‍යාපාරයේ උදාහරණය අනුව මුදල් පරිපාලනය ගැනත්,...

⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්. 

 

⇦ ව්‍යාපාරයක් ආරම්භ කරමු 11: රේණුගේ කතාව 1 කොටස සහ භාණ්ඩ මිල තීරණය කිරීම 

⇨ ව්‍යාපාරයක් ආරම්භ කරමු 13: ඔබගේ ව්‍යාපාරයට Home Delivery හරහා දෙවන අදායම් මාර්ගයක් එකතු කර ගන්නේ කොහොමද?

 

ආයුබෝවන්,

ඉස්සෙල්ලම ඔබ ව්‍යාපාරයක් ආරම්භ කරමු කියන පාඨමාලාවට අලුත් නම්, මුල ඉඳල කියවන්න පටන් ගන්න. මේ ඔබ ඇවිත් ඉන්නේ ඔබගේ ජිවිතයේ හැරවුම් ලක්ෂයකට බව ඒකාන්තයි. නමුත් ඔබ ඒ දැනුම භාවිතා කරනවද නැත්ද කියන දේ තියන්නේ ඔබගේත් ඔබගේ පුර්ව කර්මයේත් අතේ. 

අය වැය ඥානය සහ මුදල් පරිපාලනය කියන මාතෘකාව කතා කරන කොටම මට කියන්න තියන්නේ බොහෝ දෙනෙක් අහන්න අකමැති දෙයක්. ඒ තමයි බැංකු පස්සේ ණය ගන්න හොයමින් යන්න එපා කියන එක. ඉස්සෙල්ලම ඒ ගැන ටිකක් කියල ඉන්නම්. 

ඊට පස්සේ අපි කලින් කතා කල රේණුගේ ව්‍යාපාරයේ උදාහරණය අනුව මුදල් පරිපාලනය ගැනත් කතා කරනවා.

 

1. ණය අවම කිරීම  

ඔබ හිතනවා නම් බැංකු ණය ක්‍රමය හැදිලා තියන්නේ ව්‍යාපාරිකයන්ට අත්වැලක් විදිහට කියල හරි අඩු පොලී ණයක් කියන්නේ ඔබට ලැබෙන සහනයක් කියල හරි ඔබට එතැනම වැරදිලා. 

ව්‍යාපාරිකයෙක් විදිහට හැමතිස්සෙම අවධානමක් ගන්නේ ඔබ මිස බැංකුව නෙවේ. ඔබ බැංකුවෙන් ගන්න ණය මොන නමින් ආවත්, ඒ කියන්නේ ඒ ණය ක්‍රමය “සිංහල ව්‍යාපාරිකයා රැක ගැනීමේ ණය ක්‍රමය” කියල ආවත්, 8% අඩු පොළී ණයක් කියල ආවත් ඔබ ණය උගුලේ හිරවීමේ වෙනසක් නැහැ. 

ව්‍යාපාරයක් කියන්නේ හැම තිස්සෙම අවධානමක් සහිත දෙයක්, බැරි වෙලා හරි වැරදුනොත් බැංකුවෙන් ඔබට දුන්නේ  “සිංහල ව්‍යාපාරිකයා රැක ගැනීමේ ණයක්” වුනත් ඔවුන් කිසිම අවධානමක් ගන්නේ නැහැ. ඔබේ දේපල සින්න කරගෙන ඒ ණය සහ “අඩු පොලිය” අය කර ගන්නවා. 

මම ඒ ක්‍රමය වැරදියි කියනවා නෙවේ මේ, මම කියන්නේ ඔබ ඒ ගින්දරත් එක්ක දැනගෙන මිස සෙල්ලම් නොකළ යුතුයි කියල. 

ඒ වගේම එනිසාම මම කියන්නේ ඔබ පළවෙනි ආරම්භක ව්‍යාපාරයට නම් අත ගහන්නේ ණයට සල්ලි ගන්න එපා.

අපි කාලාමයේ කියන විදිහට පොඩියට ගෙදරින්ම පටන් අරගෙන හොඳ Customer Base එකක් හදා ගෙන ඊට පස්සේ අවශ්‍ය නම් පමණක් ණයක් ගන්න. මොකද වැදගත්ම දේ තමයි ඔබගේ දක්ෂතා පද්ධතිය. ගෙදරින්ම පටන් ගත් ව්‍යාපාරයකින් ඔබට තමන්ගේ දක්ෂතා පද්ධතිය වැඩි අවධානමක් ගන්නේ නැතිව  දියුණු කරගන්න පුළුවන්. එහෙම නැතිව කොච්චර සල්ලි තිබුනත් ව්‍යාපාරිකයෙකුට අවශ්‍ය දක්ෂතා සමුහය නැත්නම් ඔබට සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ. 

ඒ විදිහට ණයක් ගන්න විටත් ඔබ අවධානම හොඳින් දැනගෙන ඉන්න ඕනෑ. මාසෙකට ගෙවිය යුතු මුදල, සහ ගෙවිය යුතු කාලය හොඳින් දැන ගන්න ඕනැ. ඒ ගෙවිය යුතු මුදල හැම තිස්සෙම තමන්ගේ මාසික වියදමක් විදිහට සලකල වියදම් ගොඩට එකතු කරන්න ඕනැ. 

 

ඒ වගේම මාස 3ක් ඔබගේ ව්‍යාපාරයේ අදායම් නැති වුනොත් ඒ ගෙවීම් කරන්න අවශ්‍ය මුදලක් ඉතිරි කරලා තියා ගෙන විතරක් ණය ගැනීම ගැන හිතන්න. 

 

ඒ තමයි ණය ගැන කෙටියෙන්,..

 

2. අය වැය ඥානය දියුණු කර ගැනීම

ඊළඟට අපි අය වැය ඥානය ගැන සරලව කතා කරනවා. 

ඔබ කුඩා ව්‍යාපාරිකයෙකු නම්, කිසිම දවසක වෙන කෙනෙකුට බාර නොදිය යුතු දෙයක් තමයි ඔබේ cashbook එක. Cashbook එක කියන්නේ සරලව ගත්තොත් ඔබේ ව්‍යාපාරය බැංකු ගිණුමක් කියල සැලකුවොත් එකේ ගිණුම් වාර්තාව. පහත පෙන්නලා තියන්නේ සරල උදාහරණයක්.  

 



මම හිතනවා මේ විස්තරය කාටත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කියල. අපහසු නම් ඔබට තව ටිකක් වැඩියෙන් ගෙදර වැඩ කරන්න වෙනවා. 

ඒ තියන්නේ ඉතාම සරල අය වැය ලිවීමක්. මේ අනුව තමයි ඔබට තමාගේ ව්‍යාපාරයේ සියලුම අදායම් වියදම් ලියන්න තියන්නේ. ඒ හරහා දෛනික හෝ මාසික මුදල් ඉතිරිය ඔබට පැහැදිලිව බලා ගන්න පුළුවන්.

ව්‍යාපාරයක් ආරම්භ කරන තැනදී උඩ 200 තියන තැන තමන් යොදවන මුළු මුදල බැංකුවක දැම්ම වගේ හිතල එතන ලියල පටන් ගන්න.

ඔබගේ ව්‍යාපාරය අපනශලාවක් නම් එක දිනයක් ඇතුලත පේලි බොහෝ ගණනක් ලියවෙනවා. එතකොට උඩ ක්‍රමයට දෛනික මුළු ලැබීම සහ වියදම් ගණනය කරන්න ඕනෑ. හැම දවසකම අවසානයේ C/F තියන තැනින් අවසන් කරලා ඊළඟ දවසට අලුත්ම පිටුවක් පටන් ගන්න ඕනෑ. 

හොඳයි, ඒ තමයි දත්ත වාර්තා කිරීම.

ඊට පස්සේ ඒ දත්ත උඩ ඔබට ලාභ අලාභ ගණනය කර ගන්නත්, තමන්ගේ ගබඩාවේ ඇති භාණ්ඩ වල  වටිනාකම, ව්‍යාපාරික ආයෝජන ආදිය වෙන් කරලා තේරුම් ගන්න වෙනවා. 

ඒ අනුව ඔබගේ ප්‍රධානම ව්‍යාපාරික වගකීම තමයි සාධාරණ දෛනික හෝ මාසික ලාභයක් පවත්වාගෙන යෑම.

තව මේ ගැන ඉගෙන ගන්න. මම මේ ලබා දුන්නේ ප්‍රවේශයක් විතරයි. 

 

3. පියවරෙන් පියවර ඉදිරියට යෑම  

අපි කලින් කතා කල රේණුගේ ව්‍යාපාරය උදාහරණයකට ගනිමු. රේණු තමන්ගේ අච්චාරු ව්‍යාපාරය පටන් ගත්තේ ඉතාම කුඩාවට රැකියාවකුත් කරන අතරේ මයි. 

හැමදාම හවසට ගෙදර ඇවිත් කාලාම Online Shop එකට තමන්ගේ භාණ්ඩ එකතු කරලා, පාරිභෝගිකයන්ට කතා කරලා,  රෑ 11-12 වෙනකම් නිෂ්පාදන ආදී අනිත් කටයුතුත් කරලා, පහුව දා උදේ 6 නැගිටලා තමන්ගේ දරුවාගේත් ස්වාමියගේත් වැඩ කටයුතුත්  කරලා, තමන්ගේ රැකියාවටත් ගිහින් බොහොම මහන්සියෙන් තමයි පටන් ගත්තේ. 

නමුත් මාස පහක් ඇතුලත රැකියාවෙන් ඉවත්වෙලා පුර්ණ කාලීනව තමන්ගේ ව්‍යාපාරයට යෙදවෙන්න ඇයට වාසනාව හිමි වුනෙත් ඒ ආරම්භක අවස්ථාවේ කල කැප කිරීම නිසා මයි. මම කලිනුත් කියල තියනවා වගේ කම්මැලියන්ට ව්‍යාපාර හරියන්නේ නැහැ. ඔබගේ කැපවීමත්, කාලයත්, ඉවසීමත් අනිවාර්යයෙන් අවශ්‍යයි. 

ඒ කොච්චර මහන්සි වුනත් රේණුගේ පළවෙනි මාසේ ඇයට ලැබුනේ ඇනවුම් 10ක් පමණයි. නමුත් ඇය කැපවීම අත් හරියේ නැහැ, දිගටම මහන්සි වුණා. එකේ ප්‍රථිපලයක් විදිහට දෙවෙනි මාසෙදි ඇයට ඇනවුම් 25ක් ලැබුණා. මේ විදිහට වැඩි වෙලා පස් වෙනි මාසේ වෙනකොට ඇයට ශුද්ධ ලාභය රු. 30,000/- ලැබුණා. ඒ අනුව තමයි ඇය රැකියාවෙන් ඉවත් වෙලා පුර්ණ කාලීනව ව්‍යාපාරයට යෙදවූනේ.  

ඉතින් මෙතැනදී ඔබ මුලින්ම ඉගෙන ගන්න ඕනැ පාඩම තමයි ඇගේ කැපවීම(dedication), ඉවසීම(entrepreneurial patience), නොපසුබසිනා වීර්යය (persistence) කියන තුන සමග පියවරෙන් පියවර ඉදිරියට යෑම. 

ඒ තුන නොතිබුනා නම් ඇයට වෙන්නේ “අපේ රටේ ව්‍යාපාරිකයන්ට තැනක් නැහැ, අත දෙන්න කවුරුත් නැහැ, මට මෙච්චර පාඩු වුණා,”  වගේ මැසිවිලි කියා කියා වැඩේ අත්හැර දාල දිගටම රස්සාව කරගෙන ඉන්න.

එනිසා ව්‍යාපාරිකයාගේ ප්‍රධාන සතුරන් ඉන්නේ බාහිර ලෝකයේ නෙවේ, තමා තුලම බව තේරුම් අරගෙන චන්ද, චිත්ත, වීර්ය, විමංසා කියන ඉර්ධිපාද හතර තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් දියුණු කර ගන්න (මේ පාඨමාලාවේ පළමු කොටස බලන්න).

ඒ තමයි ඔබේ ගැලවුම්කරු. එනිසාම මේ පාඨමාලාව ඔබගේ ව්‍යාපාරික අත්පොත බවට පත් කර ගන්න. 

 

රේණුගේ පළවෙනි මාසයේ ඇයට මේ ව්‍යාපාරය නිසා රු. 5000/- ක් පාඩු වුණා,..

ඉහත කී කරුණු තුනට අමතරව ඇයගේ තවත් දක්ෂතාවයක් තිබුන. ඒ තමයි මුදල් පාලනය කිරීමේ දක්ෂතාවය. රේණුගේ පළවෙනි මාසයේ ඇයට මේ ව්‍යාපාරය නිසා රු. 5000/- ක් පාඩු වුනත් ඇය තමන්ගේ අදායම් වියදම් හරියටම දැනගෙන හිටිය. ඒ උඩ කී විදිහට ව්‍යාපාරයේ ආරම්භක දවසේ ඉඳලම වෙනම cashbook එකක් භාවිතා කල නිසා. 

ඇය නිෂ්පාදනය ආරම්භ කලෙත් තමාගේ ගෙදර තිබුන උපකරණ පාවිච්චි කරලා, නැතුව ඒ සඳහා ආයෝජනය කරන්න ගියේ නැහැ. කොටින්ම ඇය අත්‍යවශ්‍ය නොවෙන කිසිම වියදමක් හෝ කිසිම ආකාරයක ආයෝජනයක් කලෙත් නැහැ. 

 

දෙවෙනි මාසේ ඉඳල අය පොඩි ලාභයකින් ලාභ ලබන්න පටන් ගත්ත. අවුරුද්දක් යනකොට ඇය මාසෙකට රු. 84,000/- ශුද්ධ ලාභයක් ලබන, ස්වාදීන, කාටවත් ණය නැති තමන්ගේ ස්වාමියාටත් ශක්තියක් වන තමන්ගේ කාලය ගෙදරම ගත කරන, අනවශ්‍ය විදිහට “busy” නැති සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්. 

 

ඇය කොහොමද ණය නැතිව මේ වගේ ව්‍යාපාරයක් ගොඩ නැගුවේ?

පළවෙනි කරණය තමයි ඉවසීම,.. ඇය දෙවෙනි තුන් වෙනි මාසවෙද්දීම සල්ලි යට කරලා ලොකු වැඩ කරන්න ගියේ නැහැ. ඉවසීමෙන් Customer Base එක ගොඩ නැගුවා. 

 

4. මුදල් පරිපාලන ක්‍රමය 

දෙවෙනි කරණය තමයි මුදල් පරිපාලන ක්‍රමය.

ඔබ ඔබගේ ශුද්ධ ලාභයෙන් 25% ක් නැවත ව්‍යාපාරයටම ආයෝජනය කරන්න ඕනැ. පළවෙනි අවුරුද්ද ඇතුලත නම් ඔබට හැකියාව තියනවා නම් 100% ක්ම හෝ අඩුම ගානේ 50% ක් ඔබගේ ශුද්ධ ලාභයෙන් නැවත ආයෝජනය කරන්න ඕනැ. 

රේණු පාවිච්චි කලේ ඒ උපක්‍රමය, ඒ අනුව ඇය මුලින්ම ව්‍යාපාරයට යොදවපු රු.10,000/- හැර වෙන කියක් වත් තමන්ගේ පෞද්ගලික සල්ලි ආයෝජනය කලේ නැහැ. ඇය ව්‍යාපාර ලාභයම නැවත යෙදෙව්වා.

නමුත් ඇය කාර්, අලුත් TV, Sofa ගන්න ගියේ නැහැ. මොකද ඇය දන්නවා මේ ව්‍යාපාරය නමැති ගහ හොඳින් පෝෂණය කරලා හදා ගත්තොත් යම් දවසක ඒ ගහ තමන්ගේ කප්රුක බවට පත් වෙනවා කියල. එනිසා ඇය එතෙක් ඉවසීමෙන් තමන්ගේ ව්‍යාපාරයටම නැවත ආයෝජනය කළා, පෝෂණය කළා. 

ඒ වගේම ඇය පොඩියට පටන් ගත් නිසා වැටෙන්න තැනක් තුබුනෙත් නැහැ.  

 

ඔබ ආයෝජනය කල යුත්තේ කොහොමද?

ඔබ මේ මොහොතේ පෞද්ගලික ධනයක් උපයල තියනවා නම් මතක ඇතුව එයින් 25% කට වඩා ඉඩමක් හැරෙන්න වෙන ව්‍යාපාරයකට යොදවන්න එපා. මොකද හැම තිස්සෙම ව්‍යාපාරයේ අවධානමක් තියනවා. එනිසා ඒක අවම කර ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනෑ. විසඳුම තමයි මේ පාඨමාලාව අනුව පොඩියට රේණු වගේ තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්න එක. 

ණය අරගෙන ව්‍යාපාර පටන් ගන්න නම් කොහොමත් හිතන්න එපා. නමුත් ඔබ දැනටමත් සාර්ථක ව්‍යාපාරිකයෙක් නම් ගැඹුර දැනගෙන ණය ගැනීමේ වරදක් නැහැ. 

  

අදට මේ කරුණු ප්‍රමාණවත් කියල හිතනවා. 

ගොඩ ඉඳගෙන පීනන්න බැහැ, එනිසා මේ පාඨමාලාව නැවත නැවත කියවල අදම කාලාම Online Shop එකක් පටන්ගන්න. අපි කියන ක්‍රමය අනුගමනය කලොත් වැටෙන්න තැනක් නැහැ. ඒ නිසා බය වෙන්න එපා!

මේ ගැන යම් ගැටළු තියනවා නම් කමෙන්ට් කරන්න.

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

 

 

⇦ ව්‍යාපාරයක් ආරම්භ කරමු 11: රේණුගේ කතාව 1 කොටස සහ භාණ්ඩ මිල තීරණය කිරීම  

⇨ ව්‍යාපාරයක් ආරම්භ කරමු 13: ඔබගේ ව්‍යාපාරයට Home Delivery හරහා දෙවන අදායම් මාර්ගයක් එකතු කර ගන්නේ කොහොමද?


----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari