ව්‍යාපාරයක් ආරම්භ කරමු 14: සම්පත්ගේ කතාව - 01 කොටස සහ කෝටිපතියෙකු වන මග (ව්‍යාපාර, Stocks, Crypto)


Invest in yourself: Businesses, Stock Market, Crypto Market

⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්. 

 

⇦ ව්‍යාපාරයක් ආරම්භ කරමු 13: ඔබගේ ව්‍යාපාරයට දෙවන අදායම් මාර්ගයක් එකතු කර ගන්නේ කොහොමද?

⇨ ව්‍යාපාරයක් ආරම්භ කරමු 15: සම්පත්ගේ කතාව - 02 කොටස සහ අයවැය පාලනය කිරීමේ A, B, C, D.

 

වැදගත් වචන:

ව්‍යාපාර ආරම්භය|ආයෝජනය|කොටස් වෙළඳපොළ|Crypto වෙළඳපොළ

ආයුබෝවන්,

ඔබ මේ පාඨමාලාවට අලුත් නම් කරුණාවෙන් පළවෙනි කොටසේ ඉඳල පටන් ගන්න. අපි මේ ඔබට දැනුම ලබාදෙන්නේ තමන්ගේම ව්‍යාපාරයක් සාර්ථක කරගන්නේ කොහොමද කියන කරණය ගැන. මුලිකව ඔබට අවශ්‍ය කරන දක්ෂතා පද්ධතිය සහ එය දියුණු කරගන්නේ කොහොමද කියන කාරණය.

අපි කලින් කතා කල අයවැය ඥානයට තරමක් ඉහලින් තියන දැනුමක් ගැන තමයි මම අද කියන්න යන්නේ. සම්පත්ගේ කතාවත් එක්කම. 

බුදුන්වහන්සේගේ දේශනාවක් මත ඉතාම පොඩි වෙනසක් එක්ක භාවිතා කල හැකි ක්‍රමයක්. ඒ භාග්‍යවතුන් වහන්සේ අපිට මෙලොව පරලොව දෙපැත්තම සාර්ථක කරගන්න මග පෙන්වූ ඉතාම වටිනා අවස්ථාවක් මේ. 

ඒ වගේම මේ ආර්ථික න්‍යාය නිවැරදිව භාවිත කරන කිසිම කෙනෙකුට මහා අකුසල විපාක ඉදිරිපත් නොවුනොත් වරදින්නේ නැහැ. 

 

බොහෝ දෙනෙක් තමන්ගේ ආර්ථික පදනම ණය මත හදාගෙන “මම පොහොසත්” කියල විපරීත සංඥාවක් හදා ගන්නවා. නමුත් ඇත්තටම ඔවුන් පොහොසතුන්ට වඩා ණයකාරයෝ. 

මේ තත්වයෙන් අපි කොහොමද මිදෙන්නේ?

අඩුම තරමින් අවුරුදු 30 අඩු මල්ලිලා නංගිලවවත් මේ මර උගුලෙන් කොහොමද අපි ගලවා ගන්නේ? 

අමාරුයි නමුත් ක්‍රමය සරලයි. බුදුන්වහන්සේ අපිට මහා කරුණාවෙන් දේශනා කල ලද දෙයින් සතුටු වීම හිතේ තියාගෙන මේ ක්‍රමය හොඳින් තේරුම් ගන්න. 

ලද දෙයින් සතුටු වීම කියන්නේ මන්දෝත්සාහී වීම හෝ ඍන ආකල්ප හදා ගැනීම නෙවේ. තමාට ලැබෙන දේ තුල ජිවන වියදම හොඳින් සැලසුම් කිරීම. සෑහීමකට පත්වීම. 

ඊට අමතරව ඒ “ලැබෙන දේ” වැඩි කරගන්න සැලසුම් සහ උත්සාහ කිරීම වෙනම කාරණයක්. ධර්මය නොදන්නා පණ්ඩිතයන්ගේ කීම් වලට රැවටෙන්නේ නැතිව මේ කියන දේවල් ප්‍රගුණ කරලා තමන්ගේ මෙලොව පරලොව සාර්ථක කර ගන්න. නැත්නම් වයස 70 විතර පැන්නට පස්සේ පිනක් දහමක් කරගන්න තියා ජිවත් වෙන්නවත් සල්ලි ටිකක් නැතිව දරුවන්ට බරක් වෙන්න තමයි වෙන්නේ. 

මහමග දාලගිය දෙමුපියන්ගේ පිටිපස්සේ ඒ දුක්ඛිත කතාවට අමතරව මේ වගේ කතාත් තියනවා. 

ඉතින් ඔබට ඕනැ තමන්ගේ කතාව මොන විදිහට ලියන්නද???

 

A. ඔබගේ ශුද්ධ අදායමෙන් 25% ක් නැවත සුදුසු ව්‍යාපාරවල ආයෝජනය කරන්න.

මේ අදහස් කරන්නෙත් තරමක් අවදානම සහිත ව්‍යාපාර ගැන. ගෙයක් කුලියට දීම හෝ ඉඩමක් අරගැනීම අදාල වෙන්නේ නැහැ. නමුත් ඉඩමක වගාවක් සඳහා ආයෝජනය කිරීම අදාල වෙනවා. කුඩා කඩයක් ආරම්භ කිරීම, Online Shop එකක් ආරම්භ කිරීම, කුඩා නිෂ්පාදනයක් ගෙදරින්ම පටන් ගැනීම වගේ දේවල් වල යොදවන්න. ඔබ දැනටමත් ව්‍යාපාරිකයෙක් නම් ඒ ව්‍යාපාරයටම හරි දෙවන ව්‍යාපාරයකට හරි යොදවන්න. 

තරමක් අවදානම වැඩි නිසාම හරියට කලොත් ප්‍රතිලාභය වැඩියි. Higher the Risk Higher the Return, No Pain, No Gain, High Risk high Reward, මේ වගේ කියමන් සුද්දගේ භාෂාවෙන් ඔබට ඇහිලා ඇති. 

නමුත් ඔබ විශාල අවදානම් ගැනීම දැනට සුදුසු නැහැ, අපි පොඩියට පටන් ගමු. අවදානම නොගෙනම හිටියොත් කවදාවත් ව්‍යාපාරිකයෙක් වෙන්න බැහැ. එනිසා මම කියන මග බය නැතිව අනුගමනය කරන්න. 

මම අද කියන නීති (කාලාම ප්‍රතිපත්ති) වගේ දේවල් නිසා තමයි ව්‍යාපාරිකයන් දිනෙන් දින පෝසත් වෙන්නේ. “සල්ලි තියන තැනටම සල්ලි එනවා” කියල කතා හැදිලා තියන්නේ ඒ නිසා. ඔවුන්ට ඉරිසියා කරලා හරි “සල්ලි වලින් හැමදෙයක්ම කරන්න බැහැ”, “සල්ලි නෙවේ ජීවිතය කියන්නේ” කියල හරි අපි කාටවත් එලොවටවත් මෙලොවටවත් වැඩක් වෙන්නේ නැහැ. 

මොකද ඒ කතා හැමදෙනාම දන්න සරල කාරණා, නමුත් වැදගත් වෙන්නේ තමන් ධනයක් උපයාගෙන තම පවුලටත්, රටටත්, ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත් සේවයක් කරගෙන අප්‍රමාණ කුසල් රැස් කරගෙන මෙලොව පරලොව දෙකම සාර්ථක කර ගන්නේ කොහොමද කියන දේ. 

එනිසා අපි මේ පෞද්ගලික කාලය කැපකරලා ගුරුමුෂ්ටි නැතිව දෙන දැනුමෙන් වැඩ ගන්න. 

මේ දේවල් අපි ඉගෙන ගත්තේ දුෂ්කර මාර්ගයෙන් (Hard Way), වැරදි ගණනාවක් මැදින්, නින්දා, අපහාස, අලාභ මැදින් ඇවිත්. සමහර වැරදුන තැන් අපි තවමත් නිවැරදි කරමින් ඉන්නවා. නමුත් දැන් අපි ඒ දැනුම අපේ දරුවන් වන ඔබට දායාද කරනවා. ඒ දැනුම ඔබට සරල මාර්ගයෙන් (Soft Way) ගන්න ඉදිරිපත් කරලා තියනවා. ඒ නිසා ඒ දේවල් තමාගේම අත්දැකීම් කරගෙන සාර්ථක වෙන්න.

අපිට කියන්න කතා කරන්න අවශ්‍ය නැහැ, ඔබගේ ප්‍රතිපලය ලබා ගන්න. ඒ ඇති. කාලාමයේ මේ ටික කාලය ඇතුලත දහස් ගණනක් එකතු වෙලා ඉන්නවා. ඔබටත් පුළුවන් ඒ අය අතර දක්ෂයෙක් වෙන්න.

 

ඔබ ඉතාම කාර්යබහුල වැඩි වැටුප් ලබන කෙනෙක් නම්,..

එහෙම නම් බොහෝ විට ඔබට ව්‍යාපාර සඳහා ඔබේ ආයතනයෙන් අවසර නැති වෙන්න හෝ අවසර තිබුනත් කාලය නැති වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි ඔබට වැඩි වැටුප් ලැබෙන්නේ. (වැඩි කියන්නේ රු.60,000 - 70,000ට පමණ වැඩි). ඒ ඉන්න අත්ත කපා ගන්නේ නැතිව රැකියාව හොඳින් කරන්න. 

මේ නීතිය අනුව ඔබගේ ව්‍යාපාරික ආයෝජන කොටස වගාව සඳහා සුදුසු ඉඩම්වලට හෝ commercial ගොඩනැගිලි සඳහා සුදුසු ඉඩම් වලට යොදවන්න. 

ඊළඟ අදියරේදී මේ ආයෝජන සහ කෙනෙක් යොදවල වගාකරවීම කරන්න.

වගා කරවීම නම් රටට සහ පරිසරයට ඉතාම වටිනා දෙයක් නමුත් වස විස නැති වගාවවෙන්නම ඕනෑ. නැත්නම් ඔබ පරිසර ඝාතකයෙක් වගේම අපේ දරුවන්ට වස කවන්නෙක් බවට පත් වෙනවා. ඒ අකුසලය නම් කර ගන්න එපා.  

එහෙම නැත්නම් commercial ගොඩනැගිලි ඉදිකර සුදුසු ව්‍යාපාරයකට ලාභය බෙදීම මත ලබා දෙන්න. 

ඒ කියන්නේ කඩයක් හෝ කඩ පේලියක් හදල කුලියට දෙනවා වෙනුවට අපේ ව්‍යාපාරයේ දක්ෂ අවංක සිංහල අයට ලාබයෙන් කොටසක් වෙනුවෙන් දෙන්න. ඒක ඔවුන්ට අත දීමක් වගේම නිවැරදි තීරණ වලදී ඉතාම ලාභදායක ආයෝජනයක්. එක වරක් දෙකක් වරුදුනොත් අත්හරින්නේ නැතිව සුදුස්සන් හොයන්න ඕනෑ. ඔබට ඒ හැකියාව හෝ කාලය ඇත්තෙම නැත්නම් සාධාරණ අඩු කුලියකට දෙන්න. 

ඔබට සුදුසු තවත් ආයෝජන අවස්ථාවක් තමයි, සුදුසු ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරයේන් කොටස් මිලදී ගන්න ඒ මුදල් යෙදවීම. ව්‍යාපාරයක ආරම්භක අවස්ථාව හෝ පසු අවස්ථාවක් වෙන්න පුළුවන්. 

නමුත් ඒ දේ නම් ඉතාම දැනගෙන කලයුතු දෙයක්. ඒක අපේ සිංහල ව්‍යාපාරිකයන්ට ලොකු හය්යක් නමුත් ඒ වේශයෙන් බොරුකරයොත් බහුලව ඉන්නවා. එනිසා පරිස්සමෙන් ආයෝජනය කරන්න,.. 

කොළඹ කොටස් වෙළඳපොල: කොළඹ කොටස් වෙළඳපොලත් ඔබ වගේ අයට ආයෝජනය කරන්න ඉතාම හොඳ තැනක්. නමුත් කිසි දවසක තැරව්කරුවන්ගේ හෝ අපි  හෝ වෙනත් කෙනෙකුගේ වචන මත පමණක් ආයෝජනය කරන්නවත් අද සල්ලි දාල මාසෙකින් දෙකකින් ලාභ ගන්නවත් හිතන්න එපා.
කොටස් වෙළඳපොල කියන්නේ ඉවසීම් නැති දැනුම නැති අයගේ මුදල් විනාශ වන, ඉවසීම සහ දැනුම ඇති අයගේ ධනය වර්ධනය වන තැනක්. එනිසා ඒ ගැනත් හොඳින් ඉගෙනගෙන දැනුවත්ව විතරක් ආරම්භ කරන්න. ඔබ ඉංජිනේරු හෝ ගණිත අංශයේ උපාධිදාරියෙක් නම්, ඔබ අනිවාර්යයෙන් මේ ගැන අධ්‍යයනය කරන්නම ඕනෑ. මොකද එතැන ගණිත අංශයේ දක්ෂයන්ට තෝතැන්නක්!

මේ සඳහා කාලාමයේ අපි විශේෂ මොඩියුලයක් දියුණු කරලා තියනවා. ඒ අනුව ඔබට කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) දැනට තමාගේ මුල්‍යමය කාර්ය සාධනයට සාපේක්ෂව  (Financial Performance) මිල අවප්‍රමාණ වෙලා තියන (Undervalued) සමාගම් හඳුනා ගැනීම ඉතාම පහසු වෙනවා.

ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න: Magic Formula and Acquirer's Multiple for Colombo Stock Exchange

 

Crypto වෙළඳපොල : මේ ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. ඉතාම අවදානම් සහිත නමුත් ඉතාම ලාභ සහිත ආයෝජන අවස්ථාවක්. නමුත් ඉතාම හොඳින් දැනුවත්ව හෝ දැනුම ඇති කෙනෙක් සමග පමණක් ගමන් කල යුතු මාවතක්. 

ඒ සම්බන්ධව අපේ අධි ක්‍රියාකාරී වැඩ කටයුතු කීපයක් තියනවා, කියවන්න. 

1. Want to see our trades and portfolio?
2. More insight to the Crypto Market? 
Kaalama DeepDive      
       

 

ඔබ මසකට රු. 30,000ට අඩු වැටුප් ලබන කෙනෙක් නම්,..

ඉස්සෙල්ලම, ඔබට තවම රු. 30,000 කට වැඩි වැටුපක් එක්ක රැකියාවක් නොලැබුණේ ඇයි? මුලික හේතුව තමයි රැකියා වෙළඳපොලේ ඔබ වෙනුවට ගන්න ඕනැ තරම් තව අය ඉන්න එක. ඒ වයස අඩු නිසා කියල හිතෙන්න පුළුවන්, නමුත් නැහැ, ඒ ඔබගේ දක්ෂතා තවම දියුණු කරගෙන නැති නිසා. ඔබ වැඩ කරන ආයතනයට හොඳින් දැනෙන දෙයක් කරන්න ඔබට තවම හැකියාවක් නැති වෙලා තියන නිසා. 

සමහර අයට දැනටම මාත් එක්ක තරහ ගිහින් ඇති, තමන්ගේ අධ්‍යාපන මට්ටම හෝ අත්දැකීම් මෙච්චර මෙච්චර තියනවා කියල හිතේ දෝංකාර දෙනවා ඇති. රටේ වැරැද්ද, ආණ්ඩුවේ වැරැද්ද කියල හිතෙනවා ඇති. 

නමුත් අවාසනාවකට මම කී දේ තමයි හරි. අපි ඉන්නේ වෙළඳපොල ආර්ථිකයක. සුලභ දේ මිල අඩුයි. දුලබ දේ මිල වැඩියි. ඔබගේ උගත්කම් අත්දැකීම් පුද්ගලික ආයතනයකට විශේෂ වටිනාකමක් හෝ විශේෂ සේවයක් දෙන්නේ නැත්නම්, ඔවුන් ඒ වෙනුවට විශේෂ මිලක් ගෙවන්නේ නැහැ.

 

ඒක තමයි ඇත්ත කතාව. එහෙම නම් මට බැන්නට වැඩක් වෙන්නේ නැහැ. ඔබට වැඩි පඩියක් ඕනැ නම් ඔබගේ ආයතනයට අත්‍යවශ්‍ය, අවංක, දක්ෂ, කැපවීම තියන, තම අයිතිවාසිකම් වලට කලින් ආයතනය ගැන හිතන, ගෞරව සම්පන්න, මැසිවිලි හෝ බැරි බව නොකියන කෙනෙක් වෙන්න.

අනිත් අය කපාගෙන යන, කේලම් කියන, වන්දි බට්ටකම් කරන shortcuts හොයන්න යන්න එපා. මොකද ඒවා දක්ෂතා නෙවේ, අකුසල්!

මේ විදිහට ඉක්මනින් තමන්ගේ ආයතනයට ඔබේ වටිනාකම කතාවෙන් නෙවේ ඇත්තටම හදල දීල, ආයතනයට ඔබ සම්පතක් වෙලා ඔබේ වැටුප වැඩි කර ගන්න. 

 

ඔබට ඉක්මනින් රැකියා උසස් වීම් ගන්න අවශ්‍ය ගුණාංග ගැන මේ ලිපිය මගේ අතින් ලියවිලා තියනවා. කියවන්න. 

 

ඒ එක්කම පහත C අංගයේ විදිහට 50%ක් වෙනුවට තමන්ගේ පරිභෝජනයට රු.15,000ක්-20,000ක් පමණක් වෙන් කරගෙන B අංගයේ විදිහට ඉතිරි කිරීම අවුරුද්දකට කල් දාන්න.

ඉතිරි මුදල මේ අංගයේ විදිහට යොදවන්න නමුත් ඉස්සෙල්ලම තමන්ගේ ව්‍යාපාරික දැනුම හොඳින් ලබාගෙන ඉන්න. මේ පාඨමාලාව නැවත නැවත අනුගමනය කරලා ඉතාම අඩු වියදමෙන් පහත සම්පත්ගේ කතාවේ වගේ සරලව ව්‍යාපාරයක් පටන් ගන්න. දවසකට මහන්සි වෙන පැය ගණන ගොඩක් වැඩි කර ගන්න වෙනවා. 

ඔබේ වයස අඩු තරමට හොඳයි, කාලය සහ මුදල් විනෝදයට හෝ රස්තියාදුවට නෙවේ, තමන්ගේම අනාගතය වෙනුවෙන් මේ කිව්ව් විදිහට ආයෝජනය කරන්න. ඔබ තමයි සිංහල රටේ අනාගතය!

 

 

B. ඔබගේ ලාභයෙන් 25% ක් ස්ථාවර තැන්පතු, නිසි පරිදි සැලසුම් කල ඉඩම් සහ ගොඩනැගිලි වල යොදවන්න. 

ස්ථාවර තැන්පතුවල සහ ඉතුරුම් ගිණුම්වල ඔබට ඉස්සෙල්ලම මුදල් ඉතිරි කරලා තියන්න වෙනවා. ඒ හදිස්සියකට ගන්න. අවම වශයෙන් මාස 3කට ඔබගේ ව්‍යාපාරය සහ පෞද්ගලික ජීවිතය කියන දෙකම කිසිම අදායමක් නැතිව පවත්වන්න අවශ්‍ය මුදල් මේ විදිහට තැම්පත් කරලා තියන්න. වයස වැඩි වෙන කොට හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සඳහා වෙනම ඉතිරි කරන්න වෙනවා, නමුත් මේ ආයෝජන සුත්‍රය අනුව. 

ඊට වඩා මුදල් තියාගන්න එක හොඳ දෙයක් නෙවේ. මොකද මුදලේ වටිනාකම අඩුවෙනවා. ලැබෙන පොලිය ඒ අඩුවීම ගැලපුවහම බොහෝ වෙලාවට පාඩුවක් මිස ලාභයක් නෙවේ. එනිසා මම පෞද්ගලිකවත් මුදල් තියාගන්නේ මේ කියන අවශ්‍ය ප්‍රමාණය විතරයි. 

එනිසා ඊට පස්සේ මුදල් ඉතිරිය වෙනුවට ඉඩම් සහ ගොඩනැගිලිවල ආයෝජනය කරන්න. 

මෙතැනදී බොහෝ අය ලාබෙට ගන්න පුළුවන් ඉඩම් හෝ ගොඩනැගිලි ගන්න පෙළඹෙනවා. නමුත් හැමතිස්සෙම ගොඩනැගිල්ලක් ගන්නවා නම් වරලත් වස්තු විද්‍යාඥයෙකු සහ වරලත් සිවිල් ඉංජිනේරුවෙකු (Chartered Architect and a Chartered Civil Engineer) විසින් නිසි ලෙස නිර්මාණය කල නිවසක් හරි ගොඩනැගිල්ලක් හරි පමණක් ගන්න. ඒකට මුදල් මදි නම් ඉවසන්න. ඉඩමක් ඉස්සෙල්ල අරන්, ඊටපස්සේ පියවරෙන් පියවර ඉස්සෙල්ල නිර්මාණයට මුදල් වෙන් කරලා ඊට පස්සේ ඉදිකිරිම ගැන හිතන්න. 

ඇයි මම එහෙම කියන්නේ? වාස්තුවිද්‍යාත්මකව සහ ව්‍යුහාත්මකව නිසි ලෙස නිර්මාණය කල නිවසක් හරි ගොඩනැගිල්ලක් කියන්නේ රටට අලංකාරයක් වගේම ඔබගේ ජිවන සහ මානසික තත්වය උසස් කරන සංකේතයක්. කිසිම දියුණු රටක වාස්තුවිද්‍යාත්මකව නොවන ගොඩනැගිල්ලක් ඉදි කරන්න අවසර නැහැ. ඒ විදිහට තමයි ඒ ඒ රටවල නගර අලංකරණය පවත්වාගෙන යන්නේ. 

ඒ වගේම ඒ වගේ ගොඩනැගිලි පසු කලෙක ගිලා බහීමේ හෝ කඩා වැටීමේ අවදානම ඉතාම අඩුයි. 

ඊටත් වඩා තවත් වාසියක් තියනවා. ඔබට එවැනි නිවසක් හෝ ගොඩනැගිල්ලක් කුලියට දෙන්න හරි විකුනන්න හරි අවශ්‍ය වුනොත් පැහැදිලිවම මිල වැඩියි. සමහර අවස්ථාවල 1:1 ක්ම වැඩි මිලට දෙන්න පුළුවන්. ඔබ මේ පාඨමාලාවේ Marketing Plan එකක් ගැන කතා කල තැන Ideal Customer සංකල්පය තේරුම් ගත් කෙනෙක් නම්, මේ කතාව දැනටම තේරිලා තියෙන්න ඕනැ. 

ඒ වගේ විධිමත්ව නිර්මාණය කල ගොඩනැගිලි වලට හිත යන්නේ ඒ වගේ පාරිභෝගික පිරිසකට. ඔවුන් අඩුවට දුන්නත් අවිධිමත් නිවාස හෝ ගොඩනැගිලි ගන්නේ නැහැ. ගත්තත් ගන්නේ අඩුවට අරගෙන කඩල හදන්න බලාගෙන. 

එනිසා ඔබගේ නිවාස හෝ ගොඩනැගිලි හැමතිස්සෙල්ලම වරලත් වාස්තුවිද්‍යාඥයෙකුට හෝ එවැනි වෘතිකයන් ඉන්න පිළිගත් ආයතනයකට කියල පමණක් සැලසුම් කර ගන්න. ඉදිකිරිම නම් ඔබටම මැදිහත් වෙලා වරලත් ඉංජිනේරුවෙකුගේ සැලසුම් සහ මගපෙන්වීම එක්ක කර ගන්නත් පුළුවන්. 

ඒ වගේම ඉඩම් මිලදී ගන්න කලින් බැවුම් ප්‍රමාණය සහ අවට පරිසරය හොඳින් බලල ගන්න. දුර්වල පසක් (weak soil) තිබුනොත් හරි බොහෝ බෑවුම් තිබුනොත් ඉදිකිරීමේදී වියදම බොහෝ වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම නගරසභා ප්‍රාදේශීය සභා අනුමැතීන් හොඳින් පරික්ෂා කරලා ගන්න. 

මේ විදිහට ඉඩම් හෝ ගොඩනැගිලිවල ඔබ ආයෝජනය කරලා තියනවා නම්, ඒ දේවල් වලින් කුලියට දීමෙන් අදායමක් ලැබෙනවා, වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා. ඒ වගේම විශාල මුදල් හදිස්සියකට විකුනන්න හෝ ණයක් ගන්න පහසුයි.

දේපළ හිමියන්ට බැංකුවලින් හැමවිටම සලකන්නේ “Credit Worthy” කියලා. එනිසා පස්සෙන් ඇවිත් උනත් ණය දෙනවා. නමුත් ඔබ ඒ දේවල් වලට රැවටුන කාලේ දැන් ඉවර වෙන්න ඕනැ. ණය ගන්නවා නම් ගින්දර එක්ක සෙල්ලම් කරනවා වගේ දැනගෙන කරන්න මතක තියා ගන්න. 

ඔබ ඉතාම කාර්යබහුල වැඩි වැටුප් ලබන කෙනෙක් නම්,..

කලින් කිව්වා වගේ ඔබට කාලය ඉතාම අඩුයි, රැකියාව ඉතාම වටිනවා. එහෙම නම් මේ අංගය යටතේ තව දුරටත් කොළඹ කොටස් වෙළඳපොල ඔබගේ ආයෝජන කලාපය විදිහට තෝරා ගන්න එක ඉතාම සුදුසුයි.

මොකද ඉඩම් නිවාස වලදී වගේ නඩත්තු කරදර, හදිස්සියේ විකිණීමේ කරදර, ඔබට හදිස්සියේ දුරකථන ඇමතුම් එන, රටේ නැති ප්‍රශ්න ඔබට කියන තත්වයක් එතැන නැහැ. ඔබගේ ව්‍යාපාර බලා ගන්න ඔබටත් වඩා ඉතාම දක්ෂ පිරිසක් ඒ සමාගම් වල දැනටම රාජකාරි කරනවා. එනිසා සතියකට පැයක් පැය බාගයක් වගේ කාලයක් පමණයි ඔබට අවශ්‍ය වෙන්නේ. නමුත් උඩ කිව්වා වගේ කළබල නැතිව දැනුවත්ව මේදේ කරන්න ඕනෑ. 

උඩ කිව්වා වගේ ඒ කොළඹ කොටස් වෙළඳපොලේ මිල අවප්‍රමාණ වෙලා තියන කොටස් (most undervalued stocks)  ගැන ඉක්මනින් අදහසක් ගන්න කාලාමයේ අපි විශේෂ මොඩියුලයක් දියුණු කරලා තියනවා.

පිවිසෙන්න: Magic Formula and Acquirer's Multiple for Colombo Stock Exchange

 

 

C. ඔබගේ ලාභයෙන් 50% ක් පරිභෝජනය කරන්න. 

අමාරුයි නමුත් තමන්ගේම අනාගතය වෙනුවෙන් කොහොම හරි කරන්න ඕනැ. නැත්නම් පඩියෙන් පඩියට ජීවත්වෙන කෙනෙක් විදිහට ජිවිතයම ගෙවල දාන්න දැන්මම ලෑස්ති වෙන්න. 

 

සම්පත්ගේ කතාව - 01 කොටස

අපි මාසෙකට රු.40,000 ක වැටුපක් ගන්න සම්පත් ABC අංග තුන පාවිච්චි කරන විදිහ ගැන බලමු.

A.

ඉස්සෙල්ලම සම්පත් මාසේ පඩියෙන් 10,000 ක් නව අදායම් උපදවන දේක යොදවන්න ඕනැ. 10,000 කින් ලොකු දේවල් කරන්න බැහැනේ. නමුත් ඔහුට පුළුවන් මාසා කීපයක් ඉතිරි කරලා ලීස් එකක් දාලා පොඩි bike එකක් අරන් තමන්ගේම home delivery ව්‍යාපාරයක් ආරම්භ කරන්න සැලසුම් කරන්න. 

ඒක හොඳ සැලසුමක්. නමුත් ඔහු bike එක ගන්නේ පෞද්ගලික සුඛය වෙනුවෙන් නෙවේ, ඒ පහසුව ඔහුට ලැබෙන අමතර වාසියක් පමණයි. එනිසා ඔහුට සැහෙන පහසුවක් වගේම කාලයත් ඉතිරි වෙනවා. ඒ ඉතිරිය ව්‍යාපාරය වෙනුවෙන් යොදවන්න පුළුවන්.

හැම මාසෙම පඩියෙන් වෙන් කරන 10,000න් තමයි එකේ ලීසිං වාරිකය ගෙවන්නේ. එනිසා මේ ණය ගැනීම ඔහු දැනගෙන පරිස්සමෙන් තමයි කරන්නේ. 

 

ඊට පස්සේ ඔහුට මාසෙකට ව්‍යාපාරයට යොදවන්න රු.3,000 - 4,000/- ක් වගේ ගානක් තමයි ඉතිරි වෙන්නේ. දැන් ඔහු ඒ ඇතුලත තමන්ට Home Delivery ව්‍යාපාරයට අවශ්‍ය අනිත් දේවල් ගන්න සැලසුම් කරලා වැඩේ පටන් ගන්න ඕනැ. 

මේ අනුව ළඟ තියන කොත්තු කඩේක Online Shop එක සම්පත් කාලාමයේ ආරම්භ කරලා දවසගානේ පැය 4-5 ක් රෑට වැඩ කරනවා. ඒ කොත්තු කඩේ සාමාන්‍ය විදිහට යන කොට සම්පත් තමන්ගේම නමකින් ඒ කොත්තුම online shop එකක විකුනනවා. කඩේටත් අමතර අදායමක්, සම්පතටත් හොඳ සරල ව්‍යාපාරික අවස්ථාවක්. ඒ ක්‍රමය ගැන වැඩි තොරතුරු මෙතැනින් කියවන්න.

මාස දෙකක් කට්ට කාලා “සම්පත්ගේ කොත්තු hut” කියල තමන්ගේම නමක් ඒ ප්‍රදේශයේ පොඩියට හදා ගෙන ටිකෙන් ටික ස්ථාවර Customer Base එකකුත් කාලාම My Store හරහා හදාගෙන සම්පත් දැන් පොඩි ලාභයක් ලබනවා. 

 

මාස පහක් යනකොට සම්පත් දවසකට ඇනවුම් 8-10ක් ලබාගෙන 30,000 ක ලාභයක් උපයන තැනට එනවා. නමුත් සෑහෙන මහන්සියෙන්.  

දැන් සම්පත්ට ඒ එන ලාභයෙනුත් අඩුම ගැනේ 25% ක් තමන්ගේ මේ කුඩා ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් යොදවන්න පුළුවන්. ඒ කියන්නේ අමතරව 7,500/-. ඔහු ඒක දැන් සැලසුම් කරන්න ඕනෑ. 

 

B.

මුලින්ම සම්පත්ට කිසිම ඉතිරියක් තිබුනේ නැහැ. වයස 25 යි. නගරයට ඇවිත් අමාරුවෙන් තමයි 40,000ක පඩියක් එක්ක රස්සාවක් හොයා ගත්තේ. 

ඔහු දැන් මාසෙකට, 10,000ක් බැංකුවේ ඉතිරි කරන්න ඕනැ. කාලාම නීති සැරයි (කාලාම ප්‍රතිපත්ති), එනිසා කරන්නම වෙනවා. නමුත් ඔහුට බුද්ධිය තියන නිසා කල්පනා කරනවා “කාලකන්නියෙක් වෙනවට වඩා කාලාම නීති අනුගමනය කරනවා” කියල. (කාලාම ප්‍රතිපත්ති අනුගමනය කරනවද නැත්ද කියල බලල දඬුවම් දෙන කෙනෙක් නැහැ. තමන්ම තමයි තමන්ගේ පිහිට).

එනිසා අමාරුවෙන් ඔහු දැන් 10,000ක් ඉතිරි කරනවා. ව්‍යාපාරය ආරම්භ කරන දවස වෙනකොට ඔහුට බැංකුවේ රු.100,000 ක් ඉතිරි වෙලා. ව්‍යාපාරික ආයෝජනයට 50,000 ක් සහ ඉතුරුම් 50.000ක්.

ඔහු ව්‍යාපාරය සඳහා bike එක ගන්නේ ඉතිරුම් 50,000ට අතවත් තියන්නේ නැතිව. මොකද ඒක තමයි අපේ නීතිය (කාලාම ප්‍රතිපත්ති). 

ව්‍යාපාරය මාස 5ක් ගිය තැන ඔහුගේ ඉතුරුම් 100,000ට එහා ගිහින්. මොකද ව්‍යාපාරයේ ලභයෙනුන් 25% ක් ඔහු ඉතිරිකරන්න පටන් අරන් නිසා. 

ඔහුගේ මාස තුනක වියදම් වලට වඩා මුදලක් දැන් ඔහුගේ බැංකුවේ තියනවා. ඒ අමතර මුදල් වලින් පොඩි ඉඩම් කෑල්ලක් ගන්න තමයි දැන් සම්පත්ගේ සැලසුම. 

ඉතාම විශිෂ්ටයි සම්පත්, රැකියාව ලැබිල මාස 10ක් යද්දී ඔබ ගිය දුර බොහෝ අයට සිහිනයක්ම පමණයි!

 

C.

කාලාම නීතිය (කාලාම ප්‍රතිපත්ති) අනුව සම්පත්ට මාසෙකට වියදම් බජට් එක රු 20,000ක් විතරයි තියන්නේ. 

“යාලුවෙක් එක්ක සෙට් වෙන්න, ට්‍රිප් එකක් යන්න තියා හොඳට කන්නවත් වෙන්නේ නැහැ. නමුත් කමක් නැහැ, මේ කියන දේවල් අත්දැකීම් වලින් නේ කියන්නේ මම අවුරුද්දක් කට්ට කාල බලනවා”  සම්පත් අමාරුවෙන් හිත හදා ගන්නවා. 

ඊට පස්සේ බෝඩිමට රු. 5000ක් වෙන් කරලා ෆෝන් බිල් වලටත් රු. 1,000ක් වෙන් කරලා, කඩ කෑම සම්පුර්ණයෙන්ම නවත්තල අඩු පහසුකම් යටතේ අඩු වියදම් කෑම ටිකක් හදාගෙන කලා තමයි සම්පත් මේ සටන පටන් ගත්තේ.

දවසට රු. 300 න් ඔහුට කන්න වෙනවා. ඇඳුම් සපත්තු පරිස්සමෙන් පාවිච්චි කරන්න වෙනවා. නමුත් ඔහුඅත්හැරියේ නැහැ. 

අන්න ඒක තමයි මම කැපවීම කියන්නේ. සම්පත්ගේ බයිලා නැහැ, මැසිවිලි නැහැ, අදෝනා නැහැ. කොහොම හරි තමාගේ ඉලක්කයට යනවා. 

එහෙම නැතිව ව්‍යාපාරිකයෙක් විදිහට සාර්ථක වෙන්න ඉතාම අමාරුයි. 

මාස 10ක් යනකොට සම්පත්ගේ ජිවන තත්වය සැහෙන්න උසස් වෙනවා. 20,000 වෙනුවට දැන් ඔහුට 35,000ක් වියදම් කරන්න ඔහුට කාලාම නීතියෙන් අවසර තියනවා. ඒ විතරක් නෙවේ, ඒ මාස 10 ඇතුලත රු. 100,000කට වඩා ඉතුරුම් ඔහුට තියනවා. හොඳ ව්‍යාපාරික නමක් හැදෙමින් තියනවා, තමන්ගේම Customer Base එකක් හැදෙමින් තියනවා. 

 

“ලොභයෙක් වගේ වියදම් කලේ නැහැ, පාටි දැම්මේ නැහැ” කියල සම්පත්ට විහිලු කරපු යාලුවන්ට දැන් සම්පත් වීරයෙක්. 

“මු මාර පොරක්නේ මචන්, මාස 10න් සම්පත්ගේ කොත්තු hut කිව්වහම හැම එකාම දන්නවනේ. ඒත් මූ එක කොත්තුවක්වත් හදන්නෙත් නැහැනේ??? මාර පොරක්නේ,” 

 

දැන් “සම්පත් මාර පොරක්”ද? නැහැ තවම කසකාරයෝ විතරයි, සම්පත්ගේ පෙරහැර එන්නේ තව ඉදිරියේදී,.... 

 

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

 

⇦ ව්‍යාපාරයක් ආරම්භ කරමු 13: ඔබගේ ව්‍යාපාරයට දෙවන අදායම් මාර්ගයක් එකතු කර ගන්නේ කොහොමද?

⇨ ව්‍යාපාරයක් ආරම්භ කරමු 15: සම්පත්ගේ කතාව - 02 කොටස සහ අයවැය පාලනය කිරීමේ A, B, C, D.

 

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari