ව්‍යාපාරයක් ආරම්භ කරමු 15: සම්පත්ගේ කතාව - 02 කොටස සහ අයවැය පාලනය කිරීමේ A, B, C, D.


සම්පත් කලින් කතා කල විදිහට බෝඩිමේ ඉඳලම ව්‍යාපාරය ආරම්භ කරලා ඒ කතා කල නීති අනුව නිසි පරිදි ආයෝජන සැලසුම් කරලා,..

⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්. 

 

ව්‍යාපාරයක් ආරම්භ කරමු 14: සම්පත්ගේ කතාව - 01 කොටස සහ කෝටිපතියෙකු වන මග.

 ව්‍යාපාරයක් ආරම්භ කරමු 16: අදම පටන් ගන්න ව්‍යාපාරික අවස්ථා 25 ක්!

 

ආයුබෝවන්,

අපි මේ කතා කරගෙන එන්නේ ව්‍යාපාරිකයෙකුට අවශ්‍ය දක්ෂතා පද්ධතිය ගැන. ඔබ දැනටමත් ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් නැත්නම් තමන්ගේම කියල පොඩි ව්‍යාපාරයක් හෝ තරමක ව්‍යාපෘතියක් ආරම්භ කරන්න හිතන කෙනෙක් වෙන්න පුළුවන්, ඒ කොහොම වුනත් ඔබ අනිවාර්යයෙන්ම දියුණු කරගත යුතු දක්ෂතා සහ ලබා ගත යුතු මුලික දැනුම තමයි අපි මේ පාඨමාලාවෙන් ඔබට නොමිලේ ලබා දෙන්නේ. 

ඔබ අලුත් නම් මුල ඉඳන් පටන් ගන්න. 

 

අපි ව්‍යාපාරයක අයවැය ගැන ටිකක් කතා කළා, තමන්ගේ මුදල් සහ ආයෝජන පරිපාලනය කරගන්නේ කොහොමද කියල කතා කළා. අද මාතෘකාවත් ඒ වගේම වැදගත්. 

මොකද ඔබ මොන තරම් ලොකු ව්‍යාපාරිකයෙකු වුනත් ඒ ව්‍යාපාරය ලාභදායක නැත්නම් පවත්වාගෙන යන්න බැහැ. ප්‍රයෝජනයක් නැහැ. 

 

ඉලක්ක 

ඔබ ව්‍යාපාරිකයෙකු වශයෙන් දෛනික ලාභ හෝ මාසික ලාභ ඉලක්ක හදා ගන්න එක ඉතාම වැදගත්. ඒක දවසකට රු, 1,000 ක් වුනත් කමක් නැහැ. මොකද ඒ ක්‍රමය ගැන ඔබ දක්ෂයෙක් වුන දවසට ඊළඟ දවසේදී ඒ ක්‍රමයම ගුණ කරලා අලුත් ඉලක්ක වලට යන්න ඒ හරහා ඔබට අවස්ථාව ලැබෙනවා.  දවසට 1000ක් හොයන ක්‍රමය 2,3...10 න් වැඩි කරන ක්‍රමය තමයි ඊළඟට හොයන්න තියන්නේ. 

 

ඒ වගේම අද කියන්න යන උපක්‍රමයටත් දෛනික හෝ මාසික ඉලක්ක ඉතාම වැදගත්. 

 

ලාභය 

ඔබ මාසයකට රු 30,000 ක ලාභයක් ඉලක්ක කරනවා නම් හැමදාම වැඩකරන ව්‍යාපාරයක් නම් දවසකට රු. 1000ක් අනිවාර්යයෙන් ලාභ ලැබිය යුතුයි. මේක හරියට තීරණය කරලා තමයි අපිට වැඩ පටන් ගන්න තියන්නේ. 

 

කුඩා ව්‍යාපාරයක අයවැය පාලනයේ සහ ලාභ ඉලක්ක කිරීමේ  A, B, C සහ D යන මුලික සිද්ධාන්ත හතර 

මේ සිද්ධාන්ත මහා පරිමාණ ව්‍යාපාරවලටත් තරමක ආකෘතික වෙනස්කම් එක්ක භාවිතා කරන්න පුළුවන් වුනත් කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර ගැන තමයි අපි කතා කරන්නේ. 

අපි මුලිකවම දෛනික ලාභය ඉලක්ක කලත් තමන්ගේ ව්‍යාපාරය අනුව සති හෝ මාස ඉලක්ක කරන්න පුළුවන්. නමුත් දවසක හෝ උපරිම සතියක ඒකකවලට  බෙදා ගන්න පුළුවන් තරමට මේ ක්‍රමය සාර්ථක වෙනවා. 

 

A: Achievement: ඔබගේ දෛනික ලාභය අදායමට වඩා වැදගත් ඉලක්කයයි.

B: Barrier: නොපෙනෙන මුදල් නාස්තිය ඔබගේත් ලාභයේත් පළවෙනි සතුරා යි. 

C: Commitment: ඔබගේ ක්‍රියාවලිය සහ වියදම් ඇතුලත් දෛනික සැලැස්ම ඔබගේත් ලාභයේත් පළමු මිතුරා යි.

D: Doorway : නිවැරදි දෛනික අයවැය සටහන් ඔබගේ දොරටුව යි. 

 

අපි මේ සිද්ධාන්ත ප්‍රයෝගිකව තේරුම් ගන්න අවශ්‍ය නිසා කලින් දවසේ කතා කල “සම්පත්ගේ කතාව” නැවත උදාහරණයකට ගනිමු.  

සම්පත් කලින් කතා කල විදිහට බෝඩිමේ ඉඳලම ව්‍යාපාරය ආරම්භ කරලා ඒ කතා කල නීති අනුව නිසි පරිදි ආයෝජන සැලසුම් කරලා අවුරුදු දෙකක් යනකොට මාසෙකට ලක්ෂයක් උපයන තැනට තමන්ගේ ව්‍යාපාරය ගේනවා. දැන් ඔහු ඉන්නේ කලින් බෝඩිමේ නෙවේ තරමක් ඉඩ තියන කුඩා කුලී නිවසක. ජිවන තත්වය සෑහෙන්න උසස් වෙලා. තමන් වෙනුවෙන් වියදම් කරන්න ඔහුට දැන් මාසෙකට 50,000ක් වෙන් වෙනවා. 

ඔහුගේ ඉලක්කය තමයි තමාගේම ඉඩමක් අරගෙන එකේ කඩ කාමරයක් හදාගෙන ව්‍යාපාරයේ Home Delivery සහිත Online Shop එකට අමතරව සැබෑ ලෝකයේ කඩයක් පටන් ගන්න එක. නමුත් ඒ ව්‍යාපෘතියට ඔහුට ලක්ෂ 60ක විතර මුදලක් ඕනැ. එනිසා ඉවසන්න වෙනවා.

 

සම්පත් කළබල වුනේ නැහැ, තමන්ගේ ශුද්ධ ලාභය වන 100,000 න් 50,000ක් ව්‍යාපාරික දියුණුව සහ ඉතුරුම් වලට ඉස්සර වගේම කාලාම නිතිය අනුව වෙන් කරනවා. දැන් ඔහු රැකියාවට යන්නේ නැහැ. කාලය තියනවා. ව්‍යාපාරික දියුණුව වෙනුවෙන් වෙන් කල මුදල් ඉතිරි වෙලා තියනවා. ඒ අනුව ඔහු ඉස්සෙල්ලම කුලියට කඩයක් අරගෙන තමන්ගේ ව්‍යාපාරය ඊළඟ තලයට ගෙනියන්න සැලසුම් කරනවා. අතේ තියන ගානට කරන්න ඕනැ, ණය නැතිව ලොකු වැඩ නැතිව. 

ඒ වගේම ඔහුගේ අතේ හොඳින් ගොඩනැගුන නිතරම ඔහුගෙන් මිලදී ගන්න Customer Base එකක් තියන නිසා අවදානමක් ඇත්තෙම නැති තරම්. 

ව්‍යාපාර දියුණුවට වෙන් කල මුදල් ඔහුට ලක්ෂ 4 ක් දැන් ඉතිරි වෙලා තියනවා. ඒ 25% බැගින් ඉතිරුම් සඳහා ඉතිරි කල මුදල්වලට අමතරව. එනිසා කඩය ආරම්භ කරන්න අවශ්‍ය නම් ඔහුට ඔහුගේම ඉතුරුම් ගිණුම් වලින් ලක්ෂ දෙක තුනක ණයක් ගන්න උනත් පුළුවන්. 

මේ පිටින් පොලියට හෝ ඇප තියල ණයක් ගැනීමක් නෙවේ. තමන්ගේම එක ගිණුමකින් ගැනීමක්. මොකද මාස තුනක අපදා කාලයකට මුණ දෙන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදලක් ඔහු මේ වෙද්දී ඉතිරි කරලා තියනවා. ඒ මුදල් වෙන් කරලා තියන්නේ ඉඩමක් ගන්න නමුත් එකටත් තවම සල්ලි මදි. එනිසා තමාම තමන්ට ණයක් දෙන්න බාධාවක් නැහැ. 

මේ විදිහට සම්පත් සුදුසු තැනක තමන්ගේ පළවෙනි ආපනශාලාව විවෘත කරනවා. ඒ විවෘත කරන්නේ මාසෙකට ලක්ෂයක ලාභයක් අතේ තියාගෙන. ඒ නිසා ඒක සූදු කෙලිමක් වගේ දෙයක් නෙවේ. අවශ්‍ය දක්ෂතා පද්ධතිය දියුණු කරගෙන ඒ ව්‍යපාරයෙන්ම ඉපයූ මුදලින් තමයි ඔහු මේ ආපනශාලාව විවෘත කරන්නේ. 

ඒ කරණා හොඳින් තේරුම් ගන්න, කතන්දරයක් අහනවා වගේ මේවා කියවල වැඩක් වෙන්නේ නැහැ. 

 

දැන් අපි බලමු සම්පත් කොහොමද උඩ කී සිද්ධාන්ත හතර සාර්ථකව පාවිච්චි කරන්නේ කියල. 

සම්පත්ගේ ආපනශාලාව දිවා රාත්‍රී අහාර ලබාදීම කරන්නේ. කාන්තාවන් දෙදෙනෙක් දෛනික ගෙවීමට යොදවාගෙන ඔහු අවශ්‍ය ආහාර තමාගේ ස්ථානයේ සකස් කරව ගන්නවා. 

ඔහු ව්‍යාපාරය පටන් ගත්තේ වෙනත් කඩයක ආහාර විකුණලා, නමුත් Customer Base එක ස්ථාවර වෙනවත් එක්කම ඔහු ටිකෙන් ටික තමන්ගේ ඇනවුම් වලින් කොටසක් තමාගේ තැන සකස් කරගන්න පටන් ගත්ත.

ඒ අනුව රසකාරක වගේ දේවල් දාන්නේ නැතිව හොඳ ප්‍රමිතියෙන් ආහාර හදන්නත් අමතර අදායමක් ලබන්නත් ඔහුට අවස්ථාව ලැබුණ. 

 

අලුතෙන් ආරම්භ කල අපනශාලාවේත් ඔහු තමන්ගේ ආහාර වලින් කොටසක් පිටින් ගන්නවා නමුත් බොහෝ ප්‍රමාණයක් තමන්ම සකස් කර ගන්නවා. 

දැන් ඔහුට කලින්ට වඩා වියදම් වැඩියි, අමතර පඩි ගෙවීම් සහ කුලී ගෙවීම් ඇතුළු තවත් වියදම් තියනවා. 

නමුත් මාස දෙක තුනක් යනකොට දෛනික අදායම 20,000 ඉක්මවල ගියා. ඒ මුලිකවම ඔහුට ආපනශාලාව ආරම්භක අවස්ථාවේම හොඳ නමක් සහ customer base එකක් හැදිලා තිබුන නිසා. නැත්නම් ඒ තත්වයට එන්න මාස 10-15ක් යන්න වුනත් ඉඩ තිබුන. 

A: Achievement: ඔබගේ දෛනික ලාභය අදායමට වඩා වැදගත් ඉලක්කයයි.

සම්පත් කාලාමයත් එක්ක මුල ඉඳන්ම හිටපු නිසා එක දෙයක් දන්නවා. අපි ව්‍යාපාර කරන්නේ ලාභයක් උපයන්න මිස් විශාල මුදලක් රෝල් කරලා කයිවාරු ගහන්න නෙවේ. දවසට ලක්ෂයක් රෝල් කලත් වැඩක් තියනවද දවස අන්තිමට ලාභයක් නැත්නම්? 

එනිසා හැමතිස්සෙම දල ලාභය සහ ශුද්ධ ලාභය ඉලක්ක කරන ඕනැ. 

සම්පත් නිෂ්පාදන වියදම්, සේවක පඩි සහ කුලිය ගෙව්වට පස්සේ දවසකට ලාභය 5,000ක් ඉලක්ක කරනවා. ඔහුට එකෙන් එවන්න තියන්නේ අනිකුත් වියදම් ටිකක් විතරයි.
ඒ ඉලක්කයට යන්න නම් දවසකට 20,000ක විකුණුම් අදායමක් තියෙන්න ඕනැ. ඒක ඔහුට තියනවා එනිසා ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය ලාභයයි. එනිසා ඔහු හැමතිස්සෙම එතැන ඉලක්ක කරගෙන තමයි ව්‍යාපාරය කරගෙන යන්නේ. 

මේ කරුණෙන් අදායම වැදගත් නැහැ කියල අදහස් වෙන්නේ නැහැ. ව්‍යාපාරයක අදායම ඉතාම වැදගත් සහ වැඩි කර ගන්න හැම පියවරක්ම ගන්න ඕනැ. නමුත් ලාභය විශේෂයෙන් කුඩා ව්‍යාපාරවල ඊට වඩා වැදගත්. 

 

B: Barrier: නොපෙනෙන මුදල් නාස්තිය ඔබගේත් ලාභයේත් පළවෙනි සතුරා යි. 

හැම ව්‍යපරිකයෙකුටම තියන ප්‍රශ්නයක් තමයි තමන් දැන හෝ නොදැන ව්‍යාපාරයේ මුදල් නාස්ති වෙනවා. අනවශ්‍ය වියදම්, නාස්තිය, හොරකම් වගේ ගොඩක් හේතු ඒ අතරේ තියනවා.

මේ කරණය හොඳට තේරුම් ගන්න ඕනෑ. ව්‍යාපාරයක ලාභයක් නැහැ කියනවා නම් ප්‍රශ්නය තියන්නේ මෙතැන. විකුනන්නේ වෙළඳපොලේ මිලට නම්, අනිත් ව්‍යාපාරිකයන්ට පුළුවන් නම් තමන්ට බැරි මොකද? 

හේතුව තමයි “නොපෙනෙන මුදල් නාස්තිය”. ඒ තමයි ඔබගේ බලවත්ම සතුරා.

 

සම්පත් එනිසා තමන්ගේ හැම මුදල් ගෙවිමක්ම (වියදමක්ම) හොඳින් පරික්ෂා කරනවා. දැනගෙන තමයි ගෙවීම් කරන්නේ. නමුත් එකට ලොකු කැපවීමක් සහ සැලැස්මක් තියෙන්න ඕනැ. 

 

C: Commitment: ඔබගේ ක්‍රියාවලිය සහ වියදම් ඇතුලත් දෛනික සැලැස්ම ඔබගේත් ලාභයේත් පළමු මිතුරා යි.

සම්පත් භාවිතා කරන ඒ සැලැස්ම තමයි දෛනික වියදම් සහ ක්‍රියාකාරකම් සැලැස්ම. 

ඔහු උදේ අහාරය ලබා නොදෙන්නේ කාලය තමන්ට ඉතිරි කර ගන්නත් දිව රාත්‍රී සැපයුම හොඳින් කලබල නැතිව සැලසුම් කරන්නත් අවශ්‍ය නිසා. 

ඔහු හැමදාම රෑ 10ට  තමාගේ කුඩා ගබඩාවේ හෙට දවසේ ආහාර හදන්න ගන්න පුළුවන් දේවල් ලිස්තුවකට ගන්නවා. ඒ ගබඩා පරික්ෂාව නිසා යම් භාණ්ඩ නාස්තියක් වෙලා තිබුනොත් ඔහුට අහු වෙනවා. කිසිම වෙලාවක ගබඩාවේ භාණ්ඩ හානි නොවෙන්න සම්පත් පියවර අරන් තියන්නේ.

(ගබඩාවේ තියන භාණ්ඩ එක්කෝ නිෂ්පාදනය හරහා විකිණිලා මුදල් වෙන්න ඕනැ, නැත්නම් නාස්ති වෙන්න ඕනැ, නැත්නම් සේවකයන් පරිභෝජනය කරන්න ඕනැ, නැත්නම් හොරකම් වෙන්න ඕනැ.

නමුත් නිෂ්පාදනය හරහා මුදල් වීම හැරෙන්න වෙන දෙයක් වුනොත් ඔබ පරාදයි. එනිසා ඔබට මේ ගැන හොඳ සිහියෙන් ඉන්න වෙනවා.)

ඒ නිසා ඔහු රෑ නින්දට පෙරම දන්නවා හෙට “නිෂ්පාදනයට” අවශ්‍ය ද්‍රව්‍ය වලින් මොනවද තමන්ගේ අතේ දැනටම තියන්නේ කියල. එත් එක අතකින් සල්ලිම තමයි. 

ඒ වගේම ඔහු දවසේ ලාභය සහ අතේ ඇති මුදල ගණන් හදනවා. 

ඊට පස්සේ ඔහු හැමදාම උදේ 7ට ඔහුගේ කණ්ඩායම විනාඩි 40කට මුණ ගැහෙනවා. ඒකට කියන්නේ දෛනික රැස්වීම කියල. 

ඒ රැස්වීමේදී ඔහු අද දවසේ මිලදී ගතයුතු සියල්ල ලැයිස්තු ගත කර ගන්නවා. ගබඩාවේ ඉතිරි වෙලා තියන දේවල් සහ අද දවසේ සකස් කරන ආහාර වට්ටෝරුව අනුව ඔහු මිල ගණන් එක්කම තමයි මේ සැලසුම හදන්නේ. 

මේ මිලදී ගැනීමේ දී සියලුම අමුද්‍රව්‍ය සැලකෙන්නේ ගබඩාවට නැවත භාණ්ඩ එක් කිරීමක් විදිහට. එනිසා සම්පත්ගේ සැලැස්මේ දී හෙට දවස ගැනත් හිතල එකවර මිලදී ගන්නත් පුළුවන්. එතකොට දෙවෙනි දවසේදී මිලදී ගැනීම් ප්‍රමාණය ඉතාම අඩු වෙනවා. තුන්වන දවසේ නැවත දවස් දෙකකට මිලදී ගන්නවා. ඒ සියල්ල ගබඩාවට එකතු කිරීම් විදිහට සලකල ඊට පස්සේ තමයි නිෂ්පාදන ක්‍රියාවලි සැලසුම අනුව ගබඩාවෙන් තමන්ගේ නිෂ්පාදන වලට ගන්නේ.

මේ කියන ගබඩාව සමහර විට කාමරයක් වෙන්නත් පුළුවන්, නමුත් සම්පත්ගේ කතාවේදී නම් තරමක ප්‍රමාණයේ පෙට්ටි දෙකක්. මොකද ඔහු අද දවස සඳහා අවශ්‍ය සියල්ලම අදම තොග කඩයකින් කලින් එකඟ වෙලා තියන විදිහට ඇනවුම් කරනවා. උදේ 9 සහ හවස 2 වෙනකොට ඔහුට ඒ ඒ වේලට අවශ්‍ය භාණ්ඩ ලැබෙන නිසා ගැටළුවක් නැහැ. 

 

 මිලදී ගැනීම් ➨ ගබඩාව ➨ නිෂ්පාදනය හෝ ඇසුරුම් කරණය ➨ විකිණීම.

(ගබඩාවේ පෙර ඉඳල තිබුන ද්‍රව්‍ය මෙතැනදී සැලකීම අනිවාර්යයි. ගබඩාවට පිටින් කිසිම දෙයක් නිෂ්පාදනයට නොයාමත් අනිවාර්යයි.)

 

මේ සැලසුමේදී සම්පත් දවසේ ක්‍රියාවලියත්සැලසුම් කරනවා. ඒ අනුව ගබඩාවෙන් මේ මේ දේවල් මේ මේ ප්‍රමාණවලින් පමණයි ගත යුත්තේ කියල ඔහු තමන්ගේ කණ්ඩායමට නියෝග කරනවා. 

දැන් ඔබට තේරෙනවා ඇති උදේ 7:40 වෙනකොට සම්පත් දන්නවා තමන්ගේ අද දවසේ වියදම කීයද කියල. ඒ දවසේ වැඩ පටන් ගන්නත් කලින්. 

ඒ වගේම අද දවස තුල ගබඩාවට මොනවද එකතු වෙන්නේ සහ මොනවද පිට වෙන්නේ කියලත් ඔහු සැලසුම් කරලා ඉවරයි. රෑ 10 ට ඔහු ඒ දේ නැවත ගබඩාවේ තියනවද කියල තහවුරු කරනවා. 

ඒ වගේම ඔහු දන්නවා පරිභෝගිකයනේ කී දෙනෙකුට විකුණනවද කියල මොකද උඩ මිලදී ගැනීම් සැලසුම හදන්නෙම ඒ දැනුම මත. ඒ ඔහුගේ අත්දැකීම් මත ලැබෙන දැනුමක්.

සම්පත් තව දෙයක් කරනවා. ඒ තමයි කඩ කුලිය සහ එක සේවකයෙකුගේ පඩිය මාසිකව ගෙව්වත්, ඔහු දවස ගානේ ඒ මුදල සමානව බෙදල වෙන් කරනවා. ඒ මුදලත් දෛනික සැලසුමට ඇතුල් කරලා තමයි 25% ක නැත්නම් රු.5,000ක ලාභ ඉලක්කය සැලසුම් කරන්නේ. 

 

එනිසා සම්පත් උදේ 7:40 වෙනකොට,

1. අද දවසේ බලාපොරොත්තු වන විකුණුම් අදායම දන්නවා,

2. අද දවසේ ගබඩාවට ඇතුළු කිරීම සහ පිට කිරීම් මත නිෂ්පාදන වියදම දන්නවා,

3. අද රාත්‍රියේ ගබඩාවේ ඉතිරි විය යුතු ප්‍රමාණ දන්නවා,

4. අද දවසේ ගෙවෙන කඩ කුලිය සහ වැටුප් දන්නවා,

5. අද දවසේ ලාභය ඒ අනුව සැලසුම් වෙලා ඉවරයි. 

 

දවස අවසානයේ රෑ 10ට ගණන් හදන කොට පොඩි වෙනස්කම් මිස ලොකු වෙනස්කම් වෙන්න බැහැ. විශේෂයෙන් මිලදී ගැනීම් වෙනස් වෙන්නම බැහැ. එහෙම වුනා නම් ඒ ක්ෂණිකව හදපු නව දෛනික උප සැලැස්මක් අනුවම පමණයි.

ඒ කියන්නේ හදපු ආහාර සියල්ලම ඉවර වෙලා නව ඇනවුම්යම් ගණනක් ලැබුන නම් හෝ ලැබෙන බව පැහැදිලිවම පේනවා නම්, ඒ වගේ වෙලාවට සම්පත් කරන්නේ ඒ ඇනවුම් ගණන අනුව අලුත් මිලදී ගැනීමේ සහ නිෂ්පාදනයේ දෛනික උප සැලසුමක් හදනවා. ඒ සැලැස්මත් පෙර සැලැස්ම වගේම අදායම් වියදම් දෙකම ගැන පැහැදිලි සැලසුමක්. 

ඊටපස්සේ වැඩ කරන්නේ ඒ සැලසුම් දෙක අනුව පමණයි. වෙන කිසිම දේකට හිතුමතේ වියදම් කරන්න ඔහුටත් ඔහුගේ කණ්ඩායමේ සියලු දෙනාටමත් තහනම්.

ඒ වගේම රෑ කරන ගබඩා පරික්ෂනයේත් ලොකු වෙනස්කම් වෙන්න හේතුවක් නැහැ.

 

මේ තමයි ජිවිත පරිත්‍යාගයෙන් කැපවී සම්පත් අනුගමනය කරන දෛනික සැලැස්ම. ඒ තමයි ඔහුගේ ව්‍යාපාරයේ හොඳම මිතුරා.

 

ඔබගේ ව්‍යාපාරය අනුව මේ සැලැස්ම දින දෙකකට, 5කට, සතියකට හෝ මාසයකට සැලසුම් කරන්න පුළුවන්. නමුත් ඉතාම කාර්යක්ෂම වෙන්නේ දින එකක් නම් පමණක් බව මතක තියා ගන්න. ඒ අනුව හැමදාම රෑ 10ට ඔබ ලාභය හදල වෙන් කරලා, ගබඩාව පරික්ෂා කරලා, මුදල් තත්වය පරික්ෂා කරලා  ඊළඟ දවස අලුත්ම දවසක් විදිහට අරගෙන නැවත සටනට මුණ දෙන්න.

ඒ වගේම මේ සැලසුම හදද්දී ඇතැම් දවසක, උදාහරණයකට හැම සඳුදාම, සතියකටම හෝ සති දෙකකට එකවර මිලදී ගැනීම් කරන්න පුළුවන්. ඒ අනුව අඩුවට තොග මිලට ගන්න ඔබට පුළුවන් වෙනවා.

නමුත් මතක තියාගන්න ඒ එක්කම ගබඩා හැසිරවීමේ සහ නිවැරදිව ගණන් හැදීමේ ඔබ දක්ෂ වෙන්න ඕනැ. නැත්නම් තොග මිලෙන් ලැබුන ලාභය වගේ දෙතුන් ගුණයක් ගබඩා ගැටළු නිසා විනාශ වෙලා යනවා.

ගබඩා ප්‍රශ්න නිසා ව්‍යාපාරම විනාශ වෙලා ගිය අවස්ථාත් තියනවා. ඒනිසා ඉතාම පරිස්සමෙන්. 

එ කරණය නිසා තමයි අපි KISS නීතියට ගොඩක් කැමති. KISS කියන්නේ Keep It Simple Stupid - “හැම දෙයක්ම සරලව තියාගනින් මෝඩයා” කියන එක. ඒක හාස්‍ය එක්ක කියන දෙයක් මිස අපහාසයක් නෙවේ. 

එනිසා හැමවිටම ආරම්භක අවුරුද්දේ උපරිම දවස් 3කට වඩා අවශ්‍ය දේවල් මිලදී ගන්න එපා. 

නමුත් ඔබ ජෑම්, තුනපහ, අච්චාරු, විස්කෝතු, යුෂ වගේ ගබඩා කල හැකි දෙයක් හදන කෙනෙක් නම් මේ සැලසුම සතිපතා වගේ භාවිතා කරන්න පුළුවන්. ඒ දේ  තීරණය කිරීමේ සහ අනුගත කර ගැනීමේ ඔබ දක්ෂ වෙන්න ඕනැ.

 

D: Doorway : නිවැරදි දෛනික අයවැය සටහන් ඔබගේ දොරටුව යි. 

උඩ සැලැස්ම හොඳින් ක්‍රියාත්මක වුනාද කියල හැමදාම රෑ 10 ට පරික්ෂා කරන්න නම් “සියලුම අදායම් වියදම්” ඒ වෙලාවේම නිවැරදි සටහන් වෙලා තියෙන්න ඕනැ. ඒ දත්ත වලට අපි කියන්නේ Raw Data කියල. අපි Cash Book එකක් ගැන කලින් කතා කළා ඒ Cash Book එක නිවැරදිවම භාවිතා කලයුතු බව තමයි මේ කියන්නේ. 

සම්පත් කරන්නේ යම් වියදමක් කරනවද ඒ වෙලාවේම ඒක ලියනවා, යම් විකිණීමක් කරනවද, ඒකත් ඒ වෙලාවේම ලියනවා. නැවතත් Keep It Simple Stupid! ඒක ඉතාම පහසු දෙයක්. 

මේක තමයි ඔබේ සාර්ථකත්වයේ දොරටුව එතැන වරද්ද ගත්තොත්, උඩ සියල්ල වරදිනවා. මොකද නිවැරදිව ලාභය කීයද කියල ගණනය කර ගන්න ඔබට අවශ්‍ය දත්ත නැහැ, නැත්නම් තියන දත්ත වැරදියි. 

 

එනිසා ඔබේ අයවැය සටහන් සඳහා අනිවාර්යයෙන්ම CART සංකල්පය පාවිච්චි කරන්න. 

C : Complete : ඔබගේ දත්ත සම්පුර්ණ වෙන්න ඕනැ, එකක්වත් අඩු වෙන්න බැහැ.

A : Accurate : ඒ දත්ත ඉතාම නිවැරදි වෙන්න ඕනැ, “බින්දුවක් අමතක වුණා”, “ඒක මම 8 වගේ දැක්කේ”, “මම දැක්කේ නැහැ” වගේ දේවල් ඇහෙන්නවත් බැහැ. 

R : Reliable : ඒ දත්ත මත ඕනෑම ගණනක් හදන්න තරම් විශ්වාසවන්ත වෙන්න ඕනැ. උඩ දෙක හරියට කලොත් ඉබේම ඔබගේ දත්ත reliable වෙනවා. 

T : Timely : හැම දත්තයකම වෙලාව වැදගත්, අද ගෙවූ වියදම හෙට දිනයට දාල හරියන්නේ නැහැ. ඒ වගේම උදේද හවසද කියන දේත් වැදගත්. අඩුම ගානේ අසන්න පැයක් වත් ඇතුලත දත්ත සටහන් වෙන්න ඕනෑ. 

මේ තමයි කුඩා ව්‍යාපාරයක අයවැය පාලනයේ සහ ලාභ ඉලක්ක කිරීමේ  ABCD, KISS සහ CART.

මේ සැලැස්මේ යන සම්පත්ගේ ව්‍යාපාරය මාසයෙන් මාසය දියුණු වෙනවා. අවුරුදු තුනක් යනකොට දෛනික අදායම 60,000 දක්වා දියුණු වෙනවා. ඒ වෙනකොට ඔහුගේ දෛනික ශුද්ධ ලාභය 12,000ක් පමණ වෙනවා. 

මේ කාලයේදී සම්පත් තවත් අපනශාලා දෙකක් විවෘත කරන්න ගිහින් ලොකු ගැටළු කිහිපයකට මුහුණ දෙනවා. අපි ඉදිරි දවසක ඒ ගැන කතා කරමු,..

මේ ගැන යම් ගැටළු තියනවා නම් කමෙන්ට් කරන්න.

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

 

ව්‍යාපාරයක් ආරම්භ කරමු 14: සම්පත්ගේ කතාව - 01 කොටස සහ කෝටිපතියෙකු වන මග.

 ව්‍යාපාරයක් ආරම්භ කරමු 16: අදම පටන් ගන්න ව්‍යාපාරික අවස්ථා 25 ක්!

 

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari