ව්‍යාපාරයක් ආරම්භ කරමු 06: නිවැරදිව Ad එකක් ලියන උපක්‍රම 4ක්


ව්‍යාපාරයක් ආරම්භ කරමු පාඨමාලාවේ 06 කොටස

⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්. 

 

 ව්‍යාපාරයක් ආරම්භ කරමු 07: මුලික අලවි සැලැස්මක් සහ Online Shop එකක් වටා "ස්ථාවර Customer Base" එකක්!

 

ආයුබෝවන්,

සිංහල ව්‍යාපාරිකයන් ගොඩ නැගීමේදී අවශ්‍ය මුලික දෙයක් තමයි වෙළඳ ප්‍රචාරණය ගැන දැනුම. මේ ලිපිය තරමක් පස්සේ ලියන්න සුදුසු වුනත් කාලාමය එක්ක ඉතාම වේගයෙන් සිංහල ව්‍යවසායකයන් එකතු වෙන නිසා දැන්ම ලියන්න හිතුන. ඒ ඔබට  කාලාමය තුල දැන්වීමක් ලියන්න මේ දැනුම අවශ්‍ය වන නිසා. 

නමුත් මේ දැනුම කාලමයට විතරක් සිමා වෙන්නේ නැහැ. වෙනත් ඕනෑම අන්තර්ජාල දැන්වීමක් ලියන විට භාවිතා කරන්න පුළුවන්. 

 

ඉස්සෙල්ලම,

 ඔබ අප කරගෙන යන "සිංහල අන්තර්ජාලය ව්‍යවසායකයන් සහ සාමාන්‍ය ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය (Android App)" ගැන දැනුවද?

නැත්නම් ඒ ගැනත් මෙතනින් කියවන්න. මේ කතා කරන මාතෘකාව නිවැරදිව තේරුම් ගන්න ඒක ඉතාම වැදගත්: https://kaalama.org/read-blog/204


ඊළඟට, 

කාලාම දැන්වීමක් දාන්නේ ඇයි සහ කොහොමද?

කාලාම දැන්වීමක් අනුව තමයි අපි ඔබගේ සේවය ගැන ජාලයට දැනුවත් කරන්නේ. එනිසා සෑම ව්‍යාපාරිකයෙක්ම දැන්වීම් එකක් හෝ කීපයක් දැමීම අනිවාර්යයි. 

1.ඉස්සෙල්ලම මෙතැනින් කාලාමයට ඇතුල් වෙලා පහත ලින්ක් එකට ගිහින් NEW තද කරන්න: https://kaalama.org/Market

2. පහත විදිහට කරුණු එකතු කරන්න. ඔබ කුඩා හෝ ව්‍යාපාරිකයෙක් නම්, අමතක කරන්නේ නැතිව කාලාම ව්‍යාපාරික පිටුවක් හදල ඒ හරහා පමණක් දැන්වීම් දාන්න. ඒ ගැන වැඩි තොරතුරු: https://kaalama.org/read-blog/346

3. අමතක නොකර Delivery Area/ සේවා ප්‍රදේශය ඔබට අදාල නම් තෝරන්න. මේ කරුණ ඉතාම වැදගත් ඒ අනුව ඔබගේ දැන්වීමට විශාල අවධානය ලැබෙනවා. එනිසා අමතක කරන්නම එපා. 


දැන්වීමක් ලියද්දි අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනැ ඇයි අපි ඒක ලියන්නේ කියල. බොහෝ අය මෙතැනම වැරැද්ද ගන්නවා. ඔවුන් දැන්වීමෙන් තමන් ගැන අනිත් අයව දැනුවත් කරන්න හිතනවා. තව අය තමන්ගේ භාෂා දැනුම ඒ හරහා ප්‍රදර්ශනය කරන්න බර වචන දානවා. තව අය පොෂ් වෙන්න දෝ මන්ද ඉංගිරිසියෙන් දානවා. 

නමුත් අපි දැන්වීමකින් අඬන්නේ කිරි එරෙන්න, භාෂා දැනුම ඉංගිරිසි ඔය එකක්වත් වැඩක් නැහැ මගේ දැන්වීමට ඇමතුම් එන්නේ නැත්නම්. එනිසා අපි ඉස්සෙල්ල ඒක තේරුම් ගන්න ඕනෑ. අපි ලියන්නේ ඇමතුමක්, කාලාම පණිවිඩයක්  හෝ SMS ගෙන්න ගන්න. නැතිව අපි ගැන නිකම්ම දැනුවත් කරන්න නෙවේ. 

 

1. ප්‍රභල මාතෘකාවක්  

පළවෙනි  උපක්‍රමය තමයි තමන්ගේ භාණ්ඩය හෝ සේවාව ගැන ප්‍රභල මාතෘකාවක් යෙදීම. මම දැකල තියනවා ඉංගිරිසියෙන් “Prasanna Hardware” වගේ මාතෘකා යොදල තියනවා. ඒක සාමාන්‍ය මාතෘකාවක්. නමුත් ඔහුම සිංහලෙන් “වැලි කියුබ් එක 9000කට” කියල දැම්මොත් එක ප්‍රභල මාතෘකාවක් වෙනවා.   

වැලි හොයන කෙනෙක් කඩවල් ගානේ, වෙබ් අඩවි ගානේ හොයමින් යන්නේ කලාතුරකින්. අපි දැනගන්න ඕනෑ යන වාහන නවත්තන විදිහේ කෙටි ප්‍රභල මාතෘකා පාවිච්චි කරන්න. අන්තර්ජාලයේ දුවන අයත් අපි එහෙම නවත්තන්න ඕනැ.

සමහර විට පාර අයිනේ ඒ වගේ මාතෘකා මම දැකල තියනවා “රස මිදි රු.100/-” වගේ ඒවා. ඉතින් යන වාහන නවත්තනවා. 

මාතෘකාවට පුළුවන් හැම වෙලාවටම මිල එකතු කිරීම හොඳයි, කෙටි වීම හොඳයි, කෙලින්ම අදාල දේ කීම ඉතාම හොඳයි. 

“එළවලු දින දෙකෙන් තොග මිලට කොළඹටම” මේ වගේ මාතෘකා නිසා ඔබේ සිංහල ගුරුවරු නම් අනිවාර්යයෙන් බනිනවා, අගක් නැහැ මුලක් නැහැ. නමුත් අපේ වැඩේදි ප්‍රභල මාතෘකාවක්. හොඳින් බලන්න වචන 6යි, නමුත් කතාවම කියල ඉවරයි. 

ඒ නිසා කාලාම දැන්වීම් දානවිට මේ කරුණ මුලිකව අනුගමනය කරන්න. ඒ හරහා ඔබගේ ad එකට එන අවධානය වැඩි වෙනවා වගේම ඔබට එන ඇමතුම් ගණන වැඩි වෙනවා. 

ඔබ මාධ්‍ය පරිමාණ ආයතනයක් නම් මේ වගේ තැන් වලදී ආයතන නාමය පහලට වැටෙන්නේ නැති විදිහේ ප්‍රභල මාතෘකා හොයන්න ටිකක් මහන්සි වෙන්න ඕනැ. 

 

ඉතාම වැදගත්:

කාලාමයේ දැන්වීම් මේ විදිහට අපි ලියන්නේ අපේ සාමාජිකයන්ගේ අවධානය ගන්න. නමුත් අපි google, kaalaama ඇතුළු වෙනත් සෙවුම් යන්ත්‍ර අමතක නොකළ යුතුයි. ඒක කාලාමයේ ඉතාම වැදගත් අංගයක්. 

ඔබ FB එකේ දැන්වීමක් දැම්මොත් google හරියට සලකන්නේ නැහැ. ඒ සමාජ ජාල තත්වය නිසා. නමුත් කාලාම දෙස google බලන්නේ වෙන විදිහකට. එනිසා අපේ දැන්වීම් list කර ගන්නවා. කාලාමයේ දැන්වීම් ගොඩක් තියන නිසා google ඒ දේ ඉතා කැමැත්තෙන් කරනවා. එනිසා ඔබගේ දැන්වීම බලන පිරිසෙන් කොටසක් ඒ හරහා එන බව අමතක කරන්න එපා. 

ඒ වගේම කාලාම සෙවුම් යන්ත්‍රය හරහා භාණ්ඩ සොයන අපේ සාමාජිකයන් පිරිසකුත් ඉන්නවා. 

එනිසා කාලාමයේ වෙළඳ ජාල ක්‍රමය නිසා එක පැත්තකින් සාමාජිකයන් ඔබේ දැන්වීම බලනවා, කාලාම සෙවුම් යන්ත්‍රය හරහා තව පිරිසක් එනවා. බොහෝ දැන්වීම් තියන නිසා අනිත් පැත්තෙන් google පිරිසක් එවනවා. මේ කරුණු කාලාමයේ ඇති වෙනත් වෙබ් අඩවියක නැති විශේෂ වාසියක්. 

මේ කාරණය නිසා ඔබේ මාතෘකාවට ඉංග්‍රීසි වචන 2 -3 ක්එකතු කරන්න අමතක කරන්න එපා. 

ඔබ ඔබගේ වැනි සේවයක් google හොයන්නේ මොන වචන දාලද? අන්න ඒ වචන දෙක තුන මෙතන යොදන්න. 

උදා: එළවලු දින දෙකෙන් තොග මිලට කොළඹටම (Vegetable Wholesale)

 

2. සරල කතා කරන භාෂාව සහ ඛාණ්ඩය 

ඊළඟ උපක්‍රමය තමයි සරල කතා කරන භාෂාව පාවිච්චි කිරීම. නැවතත් සිංහල ගුරුවරු මටත් එක්ක බනිනවා, නමුත් රාජකාරි ලිපියක් ලියනවා වගේ දැන්වීම් ලියල ප්‍රථිපල ගන්න බැහැ. මිනිස්සුන්ගේ හදවතට සමීප වචන, සරල භාෂාව පාවිච්චි කරන්න වෙනවා. කෙනෙකුට ළඟ ඉඳල කතා කරනවා වගේ දැනෙන තරමට ලියන්න පුළුවන් නම් වඩාත් හොඳයි. 

මගේ භාෂාව පවා සරල මදි කියල ඇතැම් අය මට කියනවා, ඒ නිසා ඒ ගැන හොඳින් සලකන්න. 

එනිසාම ඔබ විකුනන්නේ Benz, BMW වගේ දෙයක් නෙවේ නම් සිංහල භාවිතා කරන්න ඕනෑ. Benz, BMW වගේ වෙද්දී වෙනසක් වෙනවා, ඒ වගේ brands එක්ක බොහෝ දුරට සුද්දගේ භාෂාව තමයි ගැලපෙන්නේ. විස්තර අවශ්‍ය නැහැ කියල හිතනවා. 

නමුත් අපි හදන්නේ සිංහල රටේ සිංහල දේ විකුනන්න, ඒකට හොඳම භාෂාව අපේ භාෂාව. 

කාලාම දන්විමකදී විස්තරය ලියන්න ඕනැ මේ විදිහට කෙටියෙන්. 

නැවතත් google අමතක නොකර අපි මේක ලියන්න ඕනැ. ඉස්සෙල්ල වගේම තමයි නමුත් වචන කීපයක් වැඩියෙන් ඇතුල් කරන්න. 

We do vegetable wholesale for the best price in Sri Lanka. වගේ යෙදීම සුදුසුයි. 

ඉතාම වැදගත්: 

ඔබගේ දැන්වීම අදාල වෙන්නේ මොන ඛණ්ඩයට ද? Category එකටද?
මේ කරණය ඉතාම වැදගත්. එනිසා කිසිම වෙලාවක කම්මැලිකමට "other" කියල තෝරන්න එපා. 

මොකක්ද හේතුව? 

හේතු දෙකක් තියනවා. ඔබේ ගැනුම්කරු හැම category එකක්ම බලන්නේ නැහැ. කලබලෙන් හොයන අය තමයි වැඩිය ඉන්නේ. එනිසා ඔබගේ දැන්වීම වැරදි තැන දැම්මොත්, ඔබගේ හරි ගැනුම්කරු දකින්නේ නැහැ. 

දෙවෙනි කරණය කාලාමයට විශේෂයි. ඒ වෙනත් "සමාන භාණ්ඩ" හොයන ඔබගේ ප්‍රාදේශීය ජාලයේ සාමාජිකයන්ට අපි සමාන දැන්වීම් පෙන්වනවා. ඒ සමාන බව තීරණය කරන ප්‍රභල සාධකයක් තමයි category එක. එනිසා ඔබ වැරදි හෝ "කම්මැලි" category එකක් තෝරලා තිබුනොත්, ඔබගේ දැන්වීම කිසි දවසක් දවස් "සමාන භාණ්ඩ" අතරට වැටෙන්නේ නැහැ. 
එකත් විශාල පාඩුවක්. එනිසා නිතරම නිවැරදි category එක නැත්නම් ඛණ්ඩය තෝරන්න මතක තියාගන්න.

 

3. ප්‍රතිලාභ සහ CTA

තුන්වෙනි උපක්‍රමය කිව්වට මේක තමයි වැදගත්ම කියල කිව්වොත් එත් වැරදි නැහැ. මිනිස්සු ඔබෙන් දෙයක් ගන්නේ ප්‍රතිලාභ නිසා. සමහර භාණ්ඩවල ඒදේ එතරම් පැහැදිලි නැහැ. 

ඔබ සිල්ලර කඩයක් කරනවා නම්, කොයි කඩෙත් එකයි වගේ හිතෙන්න පුළුවන්. නමුත් ඔබට විශේෂ ප්‍රතිලාභ එකතු කරන්න පුළුවන්. 

- ආකර්ශනීය පාරිභෝගික සේවය 

- ඔබගේ ගෙදරටම ගෙනදීම 

- පැය 8ක් ඇතුලත සේවය ලබා දීම 

- කාලාම පණිවිඩයක් හරහා ඇනවුම් කිරීමේ හැකියාව 

මේ දැන් හිතට ආපු කිහිපයක්, නමුත් ඔබට තව හිතන්න පුළුවන්. ඒ වගේමම ප්‍රතිලාභ 100ක් විතර දාන්න එපා. උපරිම 6ක්.   

ඒ වගේම මෙතැනදී “මගේ දක්ෂතා” කියන්න යන්න එපා, “පාරිභෝගිකයාට ලැබෙන දේ” කියන්න. පාරිභෝගිකයන් නිතරම කැමති ඔවුන්ට ලැබෙන දේ අහන්න, නැතිව අපේ පම්පෝරි අහන්න නෙවේ. 

ඉතාම වැදගත්: 

කාලාම දැන්වීමක විස්තරය කොටසේ තමයි අනිත් තොරතුරු වලට අමතරව ප්‍රතිලාභ දාන්න තියන්නේ. මතක් කරලා ප්‍රතිලාභ අවසානයේ CTA (Call to Action) යොදන්න. ඒ කියන්නේ මේක කියවපු පුද්ගලයා දැන් මොකද කරන්න ඕනැ කියන එක. 

දැන්ම අමතන්න 0711888888, 

දැන්ම මට කාලාම පණිවිඩයක් එවන්න, 

අදම whatsapp කරන්න,

අන්න ඒ වගේ CTA එකක් යොදන්න අමතක කරන්න එපා 

 

4. පින්තූර භාවිතය 

අවසාන අංගය තමයි පින්තුර. කාලම දැන්වීම්වල පින්තුර අත්‍යවශ්‍ය අංගයක්. ඒ වගේම භාණ්ඩයක් නම් ඇත්තම පින්තුර 2 -3 ක් දාන එක ඉතාම වටිනවා. සේවයක් නම් එක් අදාල ලස්සන පින්තුරයක් ප්‍රමාණවත්. නමුත් ඒක ඇහැ යන දැන්වීමක් වගේ හදල දාන එක තමයි වඩා සුදුසු. 

වචන 1000ක් එක පින්තුරයකින් කියනවා කියල කියනවනේ. ඒ කියමන මතක තියාගෙන දැන්වීම් හදන්න.

 

ඉතාම වැදගත් කරුණක්,.. 

මේ ලිපිය නොවරදවා කියවන්න : ව්‍යාපාරිකයෙකු ලෙස කාලාමය තුල සාර්ථක වීමට අතවශ්‍ය කරුණු 4ක්

මේ ගැන යම් ගැටළු තියනවා නම් කමෙන්ට් කරන්න.

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

 

 ව්‍යාපාරයක් ආරම්භ කරමු 07: මුලික අලවි සැලැස්මක් සහ Online Shop එකක් වටා "ස්ථාවර Customer Base" එකක්!


----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari