2022 සඳහා මා යෝජනා කරන විමධ්‍යගත ආර්ථික සැලසුම


අරමුණ: ස්ථාවර දේශීය ආර්ථිකයක් ගොඩ නැගීම, රට ආහාරයේන් ස්වයංපෝෂිත කිරීම, ගමට රැකියා ලබාදීම, විදේශ විනිමය ඉපයීම,

 

පුර්ණ නිමකිරීමට ඇස්තම්න්තු කාලය වසර 15 කි.

- ආචාර්ය බුද්ධික අදිකාරී -
( දළ පිටපතක් බව කරුණාවෙන් සලකන්න.)

අරමුණ: ජාතික ආර්ථිකය විමධ්‍යගත කිරීම, රටේ ආර්ථිකය “ආකෘතිගත” කිරීම, ස්ථාවර දේශීය ආර්ථිකයක් ගොඩ නැගීම, රට වස විස වලින් තොර ආහාරයේන් ස්වයංපෝෂිත කිරීම, ගමට රැකියා ලබාදීම, විදේශ විනිමය ඉපයීම, ආගමික සහ ගුණධර්ම ප්‍රවර්ධනය සහ අනවශ්‍ය ආනයනය කිරීම් අවම කිරීම.

 

2022 සඳහා මා යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාව.

 

කෙටි වීඩියෝ හැඳින්වීම. 

 

ආරම්භය

නගරයක් තුල හිතුමතේ මංමාවත් සහ ගොඩනැගිලි ඉදිකිරීමෙන් මුළු නගරයම පරිහානියට පත්වන්නාක් මෙන්, රටක ආර්ථිකය ඉදිරි අවුරුදු පනහකවත් කාලයක් ගැන සළකා විධිමත්ව සැලසුම් නොකලොත් ඉදිරියේදී නැවත නිවැරදි කිරීමට නොහැකි අන්දමේ ගැටළු පවා පැන නගිනු ඇත.
විසඳුම නම් පැහැදිලි දිර්ගකාලින සැලැස්මක් අනුව රටක ආර්ථික ගොඩනැගීමයි. රටේ ආර්ථිකය “ආකෘතිගත” කිරීමයි.
එබැවින් වර්තමාන සහ අනාගත ජාතික ආර්ථික ගැටළු සලකා බලා මෙම සැලසුම ඉදිරිපත් කරමි.
හැඳින්වීම
ශ්‍රී ලංකාව අතීතයේ බතින් බුලතින් සමුර්ධිමත්ව පැවතුන රටකි. ඒක එක් වකවානු වල ගැටළුකාරී අවස්ථා වලට මුහුණ දීමට සිදුවුවත් එය “එක් වතුර බින්දුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යෑමට ඉඩ නොතැබිය යුතුය - මහා පරාක්‍රමබාහු රජතුමා”, “ගමයි පන්සලයි”, “වැවයි දාගැබයි” වැනි අපුර්ව සංකල්ප විශ්වාස කල අභීත සිංහලයෝ ජිවත් වූ රටකි.

තාක්ෂණික අතින් ඉතා දියුණු යුගයක ජීවත්වෙන අප නැවත ඒ සියල්ල අත්හැර අතීතයට යෑම බුද්ධි ගෝචර නොවේ. එසේ නම් කලයුත්තේ අපගේ අනන්‍ය වූ සංකල්ප නැවත නුතන තාක්ෂණයත් භාවිත කරමින් ස්ථාපිත කිරීමයි.
විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය නැවත පෙර රජ දවස මෙන් නඟා සිටුවීමත්, බුද්ධානුභාවයෙන් අපිට ලැබී තිබුණු අනර්ඝවූ ගුණධර්ම පද්ධතියත් ගම් මට්ටමෙන් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බව අපගේ දැක්මයි. “ගමයි පන්සලයි”, “වැවයි දාගැබයි” යන සංකල්පවලත් මහා පරාක්‍රමබාහු රජතුමාගේ වැකියේ හරයත් මෙය බව මා තරයේ විශ්වාස කරමි.
නුතන තාක්ෂණයෙන් ගත යුත්ත මිට එක් කලවිට කෘෂි නිෂ්පාදන, ඊට අදාල කර්මාන්ත ශාලා, ඒ ඇසුරින් අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය ආදී දිශා වලට අපගේ දොරටු විවෘත්ත වේ. මෙහිදී අධ්‍යාපනය සහ සෞඛ්‍ය ද විශේෂයෙන් සැලකිය යුතු අතර ඒ අංශවල නුතන දියුණුව කිසිසේත්ම අමතක කල නොහැකිය.

 

ජාතික ආර්ථිකය විමධ්‍යගත විය යුත්තේ ඇයි?

අද ලෝකයේ බොහෝ රටවල ආර්ථිකය නගර අශ්‍රිතව කේන්ද්‍රගත වී ඇත. කර්මාන්තපුර වැනි සංකල්ප ව්‍යාපාරිකගේ අවශ්‍යතා මත සකස් කල බවක් විනා රටේ සමස්ථ අනාගතය ගැන සිතා බිහිකළ බවක් නොපෙනේ. එම නිසා එවැනි සංකල්ප නිසා ආර්ථිකය කේන්ද්‍රගත වීමක් දක්නට ලැබේ.
එහි ප්‍රතිපලයක් ලෙස නගර ආශ්‍රිත රැකියා යුද්ධය, නාගරික ඉඩම් මිල ඉහල යාම, වාහන තදබදය, අහිතකර අහාර රටා, අධික මංමාවත් අවශ්‍යතාවය, පරිසර විනාශය, වායු දුෂණය, දරුවන් ස්වභාවික පරිසරයෙන් ඈත්වීම, දරුවන් පන්සලෙන් ඈත්වීම, දරුවන් දෙමව්පියන්ගෙන් අත්වීම, දරුවන් රට හැර යෑම ආදිය දහසක් ආර්ථික, සමාජීය, සංස්තෘතික සහ සෞඛ්‍ය ගැටළු අද වන විට පැන නැගී ඇත.

නගරයෙන් පිටත තම ගම් ප්‍රදේශයේම ජනතාවට රැකියා අවස්ථා ලැබුනොත් මේ ගැටළු අවම වෙනවා නොවේද? ඒ හරහා පරිසරය රැක ගත හැකිනම්, විදේශ විනිමය උපාය ගත හැකිනම්, ආනයනය අවම කර ගත හැකිනම් කෙසේ වෙනු ඇතිද?

“මෙම සැලැස්ම කිසිසේත්ම ග්‍රාමීය කර්මාන්ත ඉදිකිරීමක් ලෙස ලඝු නොකළ යුතුය. එය ජාතික ආර්ථිකය විමධ්‍යගත කිරීමේ මුලික ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස අවබෝධ කර ගත යුතුය.”

“ආර්ථිකය පිළිබද ඉදිරි සියලුම තීන්දු තීරණ එම ප්‍රතිපත්තිය මත ගත යුතුය.”

 

විමධ්‍යගත ආර්ථික සැලසුම යනු කුමක්ද?

අප යෝජනා කරන විමධ්‍යගත ආර්ථික සැලසුම අනුව සෑම ගම් (ග්‍රාමසේවක කොට්ඨාශ) තුනකටම එක් පරිසර හිතකාමී බහුකාර්ය කෘෂි කර්මාන්ත ශාලාවක් සහ ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කලයුතු වේ. ඒ මාර්ගයෙන් ඍජුව රැකියා අවස්ථා 200ක් පමණද වක්‍රව රැකියා අවස්ථා 300-400ක් පමණද එම ප්‍රදේශයට බලාපොරොත්තු වියහැකිය.

එවිට අපේ දරුවන්ට රැකියා සඳහා දුර බැහැර යෑමට සිදු නොවේ. ඔවුනට තම හිතවතුන් වේනුවෙන් වෙන්කිරීමට කාලය ඉතිරි වනු ඇත. දිනපතා ගමේ පන්සලට යෑමට, බුදුන් වැඳීමට කාලය ඉතිරි වෙනු ඇත. ගමේ ජීවත්වෙන බැවින් මුදල් ඉතිරි වෙනු ඇත. සෞඛ්‍ය සම්පන්න වනු ඇත. රට නැවතත් බතින් සහ ගුණධර්ම වලින් පෝෂණය වනු ඇත.

එක් පසෙකින් ගත්විට මෙය ආර්ථික ඒකක ක්‍රමයකි. දළ වශයෙන් සැම ග්‍රාමසේවක වසම් තුනක්ම එක් ආහාරයෙන් සහ බලශක්තියෙන් ස්වයං පෝෂිත ආර්ථික ඒකකයකි. මීවදයක් වෙන් වෙන් වූ නමුත් සමාන රසයෙන් යුත් කුටි වලින් සකස්වී ඇති අයුරින්, මේ ක්‍රමය යටතේ රටේ කවර ස්ථානයක් වුවත් සම ආර්ථික රසයෙන් යුක්ත වේ.

දේශීය ආර්ථිකය “ආකෘතිගත” කිරීම හෝ ආර්ථිකයක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම

මෙයත් තරමක් අලුත් අදහසක් විය හැකියි.
සෑම රටකම පාහේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පිළිබඳ ආකෘතිය, ව්‍යුහය සහ නීති පද්ධතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා ස්ථාපිත වීම සිදුවේ. නමුත් ආර්ථිකය එසේ ආකෘතිගත වීමක් දක්නට නොලැබේ.

මා යෝජනා කරන්නේ අපි එසේ දේශීය ආර්ථිකය ආකෘතිගත කලයුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සමාන ආර්ථිකයක්‍රම ව්‍යවස්ථාවක් මෙකී ව්මධ්‍යගත ආර්ථික සැලැස්ම මත ගොඩ නැගිය යුතු බවයි.
එවිට ආණ්ඩු මාරු වීම් ආදියේදී එම ප්‍රතිපත්තියේ වෙනසක් සිදු නොවේ. මෙම ආකෘතිය ජාතික ආර්ථික ප්‍රතිපත්තියකින් ඔබ්බට ගිය සවිස්තර ලේඛනයක් විය යුතුය.

 

මුලික කරුණු

1. පරිසර හිතකාමී බව සහ සෞඛ්‍ය සම්පන්න බව
මෙමෙ ව්‍යාපෘති වලදී ඉන්දන දහනය භාවිතා නොවන හෝ අවම වන පරිදිද, සුර්ය විදුලිය, නිෂ්පාදන වායුව (producer gas) වැනි බලශක්තින් පමණක් භාවිතා වන පරිදි ද කර්මාන්ත ශාලා සැලසුම් කලයුතුය. එමෙන්ම ප්ලාස්ටික් පොලිතින් භාවිතය අවම වන පරිදි මෙම කර්මාන්තශාලා සැලසුම් කල යුතුය.
එසේම කෘෂිකර්මාන්තය සහ ගෙවතු වගාව ක්‍රමයෙන් වස විසෙන් තොර කාබනික වගාව දෙසට නැඹුරු කල යුතුය. ඒ පිළිබඳව දැනුම සහ ආකල්ප සංවර්ධන පහත සඳහන් ආර්ථික ඒකකයේ සහ අනුබද්ධ ආයතන වල විශේෂ වගකීමක් වනු ඇත.

2. Producer Gas/Synthesis Gas නිෂ්පාදනය සහ බල ශක්තිය
කැපීම සඳහම වවන ලද ගිනිසීරියා වැනි දර භාවිතයෙන් කර්මාන්තශාලා භුමියේ දීම නිෂ්පාදනය කලයුතුය. කැපීම සඳහාම වවන බැවින් පරිසර දුෂණය ඉතාම අල්ප වේ. තවද එසේ වවන ජනතාවටත් කපා සකස් කර ප්‍රවාහනය කරන ජනතාවටත්, වායු නිෂ්පාදන උපකරණයේ (Gasifier) රාජකාරි කරන ජනතාවටත් මේ හරහා රැකියා අවස්ථා හිමි වේ. ඒ වෙනුවෙට ඛනිජ තෙල් භාවිතා කලේ නම්, එම මුදල් රටේ ජනතාව අතරට සංසරණය වීම වෙනුවට පිටරට වලට තෙල් මිලදී ගැනීම සඳහා ගෙවීමට සිදුවේ. අපගේ රටට ධන හානියත් පරිසර හානියත් යන දෙකම සිදුවේ.
එසේම එම තාක්ෂනය, ජීව වායුව, සුර්ය ශක්තිය වැනි පරිසර හිතකාමී තාක්ෂනයන් සෑම ආර්ථික ඒකකයක්ම සුදුසු පරිදි විදුලියෙන් සහ බලශක්තියෙන් ස්වයංපෝෂිත කරගැනීම සඳහා යොදා ගත යුතු වේ. Gasifier යන්ත්‍රය සහ එකී උපකරණ දැනටමත් ලෝකයේ විදුලි නිෂ්පාදනයට සාර්ථකව භාවිතා කරයි. අපට ඇත්තේ සුළු පියවරක් ඉදිරියට තැබීම පමණි.

3. කෘෂිකාර්මික යටිතල පහසුකම්
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ගැන කතාකිරීමට පෙර පෙර රජදරුවන් විසින් අපට උරුමකරදී ඇති වැව් අමුණු සහ පසු කලෙක ඉදිකෙරුණු කෘෂිකාර්මික වාරිමාර්ග පද්ධති නැවත යථා තත්වයට පමුණුවා “එක් වතුර බින්දුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යෑමට ඉඩ නොතැබිය යුතුය”
යන මහා පරාක්‍රමබාහු රජතුමාගේ නියමයට අවශ්‍ය පසුබිම සකස් කරගත යුතුය.
මේ කටයුතු ප්‍රමුඛත්ව පටිපාටියකට අනුව රාජ්‍ය ආයෝජන වෙන් කොට විධිමත්ව වංචා දුෂණ වලින් තොරව කල යුතුය.
(අවිහිංසාව පසෙකලා හොරුන් අල්ලා උල තැබිය යුතුයි’ යි යමෙක් කියත්ද, ඉන් අපට පුදුමයක් නැත.)
ජලයෙන් තොර වගා සංග්‍රාමයක් නැත. එබැවින් මෙම කාරණයම මුලික වේ.

4. රටේ වන ඝනත්වය වැඩි කිරීම
වැව් පිරීමට නම් වර්ෂාව අවශ්‍යය. වර්ෂාව අවශ්‍යනම් වනවගාව අවශ්‍යය. මෙම ගැටලුව ජාතික ව්‍යසනයක් ලෙස සලකා රටට ආදරය අත්තවුන් අතරින් ඉහලින්ම සිටින ත්‍රිවිධ හමුදාවේ හෝ සහාය ගෙන එය ඉටු කල යුතුය.

5. මංමාවත් ස්වභාවික සෙවනින් යුක්ත කිරීම
සෑම ප්‍රදේශයකම කොස්, පොල්, අඹ, කජු වැනි ආහාර සඳහා යෝග්‍ය ශාක වර්ග මාර්ග දෙපස, හිස් ඉඩම් ආදී සුදුසු සැම තැනම සදුසු පරිදි සිටවිය යුතුය. විශේෂයෙන්ම මග දෙපස අඹ, ජම්බු, නෙල්ලි වැනි සෙවන සහිත පලතුරු වර්ග සිටුවිය යුතුය. එවන් පරිසරයක සුන්දරත්වය දැකීමට ජනමන සකස්කල යුතුය. එම අහාර මනුෂ්‍යයන්ගේ හෝ සත්වයන්ගේ අහාර වනු ඇත. සෑම සත්වයෙකුටම සතුටින් ජිවත් වියහැකි රටක් අපි නිර්මාණය කල යුතුව ඇත.

6. පාපැදි ගමනාගමනය සහ පාගමන හුරුකිරීම
මෙම විමද්‍යගත ආර්ථික සැලසුම අනුව සේවකයන්ට රාජකාරි සඳහා ගමන් කිරීමට ඇත්තේ 2-6 km වැනි දුර ප්‍රමාණයකි. සුන්දර සෙවණ සහ පලතුරු බහුල මංමාවත් නිසා පාපැදි භාවිතය සහ පාගමන හැමදෙනාටම ප්‍රිය වනු ඇත. එබැවින් එය හුරු කල යුතුය. ඉන් පරිසරය සහ සෞඛ්‍ය ආරක්ෂා වන අතරම අනවශ්‍ය වාහන තදබදයද රිය අනතුරුද අවම වේ.

7. බහුකාර්ය බව
වගා කටයුතුවලදී කන්න අනුව වගාව, සෂ්‍ය මාරු ක්‍රමය ආදිය අතිශයෙන් වැදගත් වේ. මේසේ යම් ප්‍රදේශයක වවන බෝග වර්ග සියල්ලම දේශීය විදේශීය වෙළඳ පොළ සඳහා නිමි භාණ්ඩ වශයෙන් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් සහිතව මෙම කර්මාන්ත ශාලා සකස් විය යුතුය.
උදාහරණ ලෙස සැලකුවහොත්, යුෂ නිෂ්පාදනය, ජෑම් වර්ග, vacuum packed, frozen, canned food, බදින ලද කෙටිආහාර, බීම වර්ග ආදිය සැලකිය හැකිය.

8. කර්මාන්ත ශාලාව
ප්‍රදේශයේ ජනග්‍රහණය අනුව, සපයා ගත හැකි අමුද්‍රව්‍ය අනුව, රාජ්‍ය අයිතිය අවම වශයෙන් 51% වන පරිදි සැලසුම් කලයුතුය. පරිසරය සහ ජනතා සේවය (සතරසංග්‍රහවස්තුව - අර්ථචර්යාව) ප්‍රමුකත්වයේ ලා සැලසුම් කලයුතුය.
ප්‍රදේශය අනුව අහාර නොවන කෘෂි නිෂ්පාදන වන හණ, වේවැල්, පන්, කපු, පුළුන් ආදීය ගැන සලකා බලා වඩාත්ම ඵලදායක නිෂ්පාදන වෙත යොමු විය යුතුය.
කර්මාන්ත ශාලාව සහ නිෂ්පාදන ධාරිතාවය කුඩා පරිමාණයෙන් පටන්ගෙන ක්‍රමයෙන් දීයුණු කල යුතුය.

9. අතිරේක සාහය ලබා ගැනීම සහ ස්වයංරැකියා අවස්ථා
කර්මාන්තශාලා සේවකයන්ට සැපයිය නොහැකි සේවාවන් සැපයීම සඳහා ප්‍රදේශයේ ජනතාව පුහුණුකර ස්වයං රැකියා අවස්ථා ඇති කල යුතුය. ඍජුවම වගාව සහ කෘෂිකර්මාන්තයද, ප්‍රවාහනය, වාහන නඩත්තුව, අහාර සැපයීම, අමු ද්‍රව්‍ය නිසිලෙස සකස් කර සැපයීම ආදිය උදාහරණ ලෙස සැලකිය හැකිය.

10. ආර්ථික මධ්‍යස්ථානයක් සහ ගොවියාගේ මිල ස්ථාවර කිරීම
සෑම කර්මාන්ත ශාලාවක් අශිතවම ආර්ථික මද්‍යස්ථානයක් ජනයාගේ හිත සුව පිණිස සකස් කල යුතුය. එහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ අතර මැදියන්ගෙන් තොරව හුවමාරු වන අතර ආර්ථික බෝග වල මිල ඉදිරි සතිය සඳහා තීරණය කල යුතුය. එමගින් අතරමැදියන් විසින් ගොවියාගෙන් කුණු කොල්ලයට ආර්ථික බෝග මිලට ගැනීම වැළකෙන අතර ගමෙන් පිටට විකිනෙන මිල ස්ථාවර කෙරෙනු ඇත. එම මිල ගණන් සතිපතා තීරණය කර රටපුරා ප්‍රදර්ශනය කිරීමත්, සුදුසු නීතිත් මගින් අතරමැදියන්ගේ අයතා ලෙස උපයන ලාභය අවම කර එම මුදල් ජනතාව අතරේ බෙදී යන ලෙස කටයුතු කල යුතුය.

11. ස්වයං රැකියා උත්පාදනය
ඉහත ක්‍රමවලට අමතරව ගෘහස්ත ජනයා නිෂ්පාදනයට දායක කර ගත යුතුය. උදාහරණ ලෙස අතින් නිෂ්පාදනය කරන සබන් සහ තෙල් වර්ග, පාපිසි, පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය/උපකරණ, දැනට චීනයෙන් ආනයනය කරන ඉටිපන්දම්, හඳුන්කුරු ආදිය සැලකිය හැකිය.
පිටරට වලින් ආනයනය නවතා ආදේශක භාණ්ඩ නිෂ්පාදනය මෙසේ ස්වයං රැකියා ලෙස ඉහත ආර්ථික මධස්ථානයේ ඍජු පුහුණුව, අධීක්ෂණය සහ තත්ත්ව පාලනය යටතේ මනා සැලසුමකට අනුව කල යුතුය.
ඉන්පසූ එම භාණ්ඩ එමගින්ම මිලදී ගෙන අපනයනය සහ දේශීය වශයෙන් බෙදා හැරීම සිදුකල යුතුය.

12. එළකිරි නිෂ්පාදනය
පිටි කිරි වෙනුවට එළකිරි යන මතය සමාජගත කල යුතුය. සැම ආර්ථික මධස්ථානයක් අශ්‍රිතවම ඒ හරහා කිරි නිෂ්පාදකයන් සුදුසු ප්‍රමාණයක් සකස් කර අනිකුත් රජයේ ආයතනවල සහයත් ගෙන ඔවුන් ප්‍රවර්ධනය කලයුතුය.
ආර්ථික මධස්ථානයේ ඍජු පුහුණව, අධීක්ෂණය සහ තත්ත්ව පාලනය යටතේ මනා සැලසුමකට අනුව ඔවුන් ලවා කිරි නිෂ්පාදනය කල යුතුය.
ඔවුන්ගේ නිෂ්පාදන එම ප්‍රදේශයේම ජනතාවට දිනපතා උදැසන නිවසටම බෙදා හැරීමට කටයුතු කල යුතුය.

13. නව නිෂ්පාදන ප්‍රවර්ධනය
විශ්වවිද්‍යාල සහ අනිකුත් ආයතනවල සිසුන්ගේ අවසාන වසරේ ව්‍යාපෘති සඳහා නව දේශීය අහාර වර්ග, නව නිර්මාංශ ආහාර වර්ග, දේශීය පිටි වර්ග, දේශීය බෙහෙත් වර්ග, අපනයන ආදේශක භාණ්ඩ වර්ග ආදිය නිර්මාණය කිරීම රාජ්‍ය මැදිහත්වීමෙන් ප්‍රවර්ධනය කල යුතුය. එසේ නිර්මාණය වන නව නිෂ්පාදන ඉහත කි කර්මාන්ත ශාලා හරහා නිෂ්පාදනයටත් වෙළඳපොල සෙවීමටත් කටයුතු කල යුතුය.
එසේ සොයා ගන්න එදිනෙදා ආහාරයට සුදුසු අහාර වර්ග පිලිබඳ දැනුම ජනයාගේ හිතසුව පිණිස ඔවුනට ලබා දිය යුතුය.

14. ආකල්පමය වෙනස
වනයේත් ගස් සහිත පරිසරයේත් සුන්දරත්වය දැකීමටත්, ගොවියා රජකමටත් සුදුසුය, සෑම නිවසකම වැවිය යුතුය, වවන්නෝ දිනන්නෝය, වගා කිරීම හෝ පරිසරය සමග සිටීම කාර්යාලයට වඩා සතුටු දායකය, අපේ රට වෙනුවෙන් වැවිය යුතුය, සියලු දෙනාම එක්ව නැගී සිටිය යුතුය, තම ලාභය පමණක් නොබැලිය යුතුය, දරුවන්ට සියල්ලටම පෙර ගුණධර්ම ඉගැන්විය යුතුය යන ආදී වශයෙන් ජනයාගේ ආකල්ප පෙරලියක් ඇති කල යුතුය.
මේ සඳහා සෑම රුපවාහිනී නාලිකාවකම දිනකට විනාඩි 2කෙ කොටස් 15ක් වෙන් කල යුතුය.
ඊට අමතරව ඉතිහාසය සහ ජාතක කථා රසවත් ලෙස විද්‍යුත් මාධ්‍ය හරහා දිනපතා ජනතාව අතරට ගෙන යා යුතුය.
දරුවන්ට එම කතා “නින්දට පෙර කතා” ලෙස සහ “උදැසන කතා” ලෙස දිනපතා උදැසන සහ රාත්‍රියේ නිසි වෙලාවට පෙන්විය යුතුය. එමගින් දරුවන් නිසි කලට නින්දට යාමත්, අවදිවීමත්, ඉතිහාස සහ ජාතක කතා ආදිය ඉගෙනීමත් එකට හුරු කිරීම සුදුසුය.
එමෙන්ම දේශීය, ස්වභාවික සහ සෞඛ්‍ය සම්පන්න අහාර රටාවන් විද්‍යුත් මාධ්‍ය හරහා ජනතාවට හුරු කලයුතුය.

15. ප්‍රාදේශීය මට්ටමේ ජනතා අවශ්‍යතා හඳුනා ගැනීම සහ සපුරාදීමට කටයුතු කිරීම
සියලුම විෂය ධාරා වල විශ්වවිද්‍යාල සහ අනිකුත් ආයතනවල සිසුන්ගේ අවසාන වසරේ ව්‍යාපෘති සඳහා තවත් අංගයක් ලෙස මෙම කටයුත්ත සිදු කලයුතු වේ. මේ හරහා ප්‍රදේශවල ආර්ථික මධස්ථාන කේන්ද්‍ර කරගෙන සමීක්ෂණ කිරීම් සුදුසුය. ඉන් පසු ලැබෙන තොරතුරු මත විසඳුම් ලබා දෙමින් දරුවන්ගේ අවසාන වාර්තා සකස් කර ඒවාගෙන් සුදුසු කරුණු ආර්ථික මද්‍යස්ථානය අනුබද්ධ සහ ජාතික ගැටළු විසඳීමේ මද්‍යස්ථාන වලට යොමු කර ජන අවශ්‍යතා සපුරාලිය යුතුය.
මෙහිදී ප්‍රදේශයේ නව ව්‍යාපාර ස්ථානවල අවශ්‍යතා, වෛද්‍ය අවශ්‍යතා, බෙහෙත්, පන්සල් සහ පන්සල්වල දියුණුව, පාසල්, මාර්ග, නවාතැන්, මානසික සුවතාවය, වෙනත් ආගමික ස්ථාන, නව සේවා සැපයුම් හෝ වෙනත් ආර්ථිකමය නොවන ඕනෑම අංශයක අවශ්‍යතා විය හැකිය.

16. ජාත්‍යන්තර විකුණුම්කරණය
1000ක දේශීය තරුණ තරුණියන් පිරිසකගෙන් සමන්විත අන්තර්ජාලය “විකුණුම් හමුදාවක්” අප විසින් රාජ්‍ය ව්‍යුහය යටතේ ස්ථාපිත කල යුතුය. CeylonX වැනි වූ එකම වෙළඳ නාමයක් යටතේ ඔවුන් ලොව පුරා තොග සහ සිල්ලර ලෙස අපගේ දේශීය කෘෂි නිෂ්පාදන අන්තර්ජාලය හරහා අලවි කල යුතුය.
ඊට අමතරව සම්ප්‍රධායික ජාත්‍යන්තර වෙළඳ ක්‍රමද අප විසින් භාවිතා කලයුතු අතර අතරමැදියන් ඇතිව හෝ නැතිව වැඩිම මිලකට විකිණීම මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගතයුතුය.
ඒ සඳහා සුදුසුකම් ඇති අතිරික්ත රාජ්‍ය සේවකයන් පුහුණු කර යොදාවා ගත හැකි.

17. ජාත්‍යන්තර විකුණුම් මෘදුකාංගයක්
එමෙන්ම, අපගේ අන්තර්ජාතික ඍජු ගණුදෙනුකරුවන් ගණන වැඩි වනවිට අපි අපගේම online marketing platform එකක් වෙබ් අඩවියක් සහ Mobile App එකක ආකාරයෙන් නිර්මාණය කල යුතුයි. ඒ හරහා CeylonX භාණ්ඩ පමණක් නොව අනිකුත් අන්තර්ජාතික විකුණුම් කරුවන්ටද අවස්ථාව ලබා දී Amazon.com වැනි මෘදුකාංගයක් හරහා ලෝක වෙළඳපොලේ තරඟ කල යුතුය.
එවැනි වෙබ් අඩවියක් හරහා ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය, අත්කම් නිෂ්පාදනය, ඇඟලුම් ආදිය පිළිබඳව අන්තර්ජාතික පාරිභෝගිකයන් ඍජුවම සහ අමතර වියදමක් නැතිවම දැනුවත් කිරීමේ අවස්ථාද එවිට උදා වනු ඇත.

18. නවීන AI සහ IOT තාක්ෂණ භාවිතය
නවීන තොරතුරු තාක්ෂනය ඉතා වේගයෙන් ඉදිරියට යයි. අප මෙම සැලැස්ම සඳහා එම අංශවල දියුණුව ඉතා ඉහලින්ම් භාවිත කොට අපගේ දක්ෂතාවය ලොවට විදහා පෑ යුතු අතරම එමගින් ජාත්යන්තර වෙළඳපොලේ තරඟකාරීත්වය වැඩි කරගත යුතුය.
අපගේ සැලැස්මට අනුව දිවයින පුරා ආර්ථික එකක 4000ක් පමණ ස්ථාපිත වේ. මේ එකක ජාලය අතර තොරතුරු හුවමාරුව සංකීර්ණ මෙන්ම අත්වැරදීම් බොහෝ සෙයින් සිදුවිය හැකි ස්ථානයකි. නමුත් ශ්රී ලංකික තොරතුරු තාක්ෂණයේ විශේෂඥයින්ට එම ගැටළු විසඳීමේ දක්ෂතාවය නොඅඩුව ඇත. අප AI, IOT වැනි තාක්ෂණ භාවිතයෙන් එම ඒකක අතර ස්වයංක්රියව අවශ්ය පරිදි භාණ්ඩ හුවමාරුව, ප්රවාහන වියදම් අවම කරගැන්මට අදාල ගණනය කිරීම් සිදුකිරීම, කල් ඉකුත්වීමේ දින අනුව වඩාත් ලාභදායක (optimum) විසඳුම් සෙවීම, ගොවියාගේ මිල දිවයින පුරා තත්වය සලකා බල ස්වයංක්රියව ගණනය කිරීමේ ක්රම භාවිතය, කර්මාන්තශාලා සහ කාර්යාල සේවකයන්ගේ කාර්යක්ෂමතාවය ගණනය කර ඔවුන් හට ස්වයංක්රියව අවශ්ය උපදෙස් ලබාදීම, ආදීය සිදු කල යුතුය.

19. අධ්‍යාපනය සහ එහි සිදුවිය යුතු වෙනස්කම්
අද පවතින අධ්යාපන ක්රමයෙන් බිහිවෙන දරුවන් බෙහෙවින් දැනුවත් වන්නේ න්යායාත්මක කරුණු පිළිබඳවය. එබැවින් රජයක් ලෙස අපි අපගේ දරුවන් නුතන අධ්යාපන ක්රමයට අනුගත කරන අතරම අනවශ්ය තරඟකාරීත්වයෙන් බැහැර කොට ඒ වෙනුව ඔවුන් වයස අවුරුදු 12 සිට මෙම විමධ්යගත ආර්ථික සැලැස්මේ විවිධ අංග ගැන දැනුවත් කල යුතුය. ඔවුන්ට ප්රයෝගික අත්දැකීම් එම කර්මාන්තශාලා තුල සහ වගාබිම්වල ලබා දිය යුතුය. වයස අවුරුදු 14 වන විට ඔවුන්ට එම අත්දැකීම් සහ දැනුම අනුව එක අංශයක් තෝරා ගැනීමට මගපාදා, එම අංශයෙන් විධිමත් පුහුණුවක් සාමාන්ය අධ්යාපනයට අමතරව ලබාදිය යුතුය. මෙහිදී සාමාන්ය අධ්යාපනය අත්හැරීමක් අදහස් නොවේ.
එවිට අපගේ දරුවන් වයස අවුරුදු 18 වන විට විමධ්යගත ආර්ථික ඒකක වල ඒ ඒ අංශ සඳහා උගත් සහ පුහුණුවන ලද සේවකයන් ලෙස බඳවා ගැනීමට සුදුසුකම් ලැබෙන අතර, ඔවුනට පෞද්ගලික අංශයේද බාධාවකින් තොරව රැකියා අවස්ථා ලැබෙනු ඇත.
තවද අධ්යාපනය සඳහා විශේෂ දක්ෂතා පෙන්වන දරුවන් සාමාන්ය පරිදිම විශ්වවිද්යාල සහ උසස් අධ්යාපනය සඳහා දිරිගැන්වියයුතු අතර ඔවුන්ට ඒ සඳහා අවශ්ය පහසුකම් වැඩිදියුණුකළ යුතුය.
වයස අවුරුදු 7ට අඩු කුඩා දරුවන්ගේ විෂය මාලාව තුලට 70%ක් ගුණධර්ම ඉගෙනුම සහ අවබෝධයෙන් ප්රයෝගික පුහුණුව ඇතුලත් කල යුතුය. උදාහරණයක් ලෙස චාරිත්රමය දෙමවුපිය වන්දනාව වෙනුවට දෙමුපියන් තමන්ට බ්රහ්මයන් වන ආකාරය දරුවන්ට අවබෝධ කොට එබැවින් සැබෑ ගෞරවයෙන්, කෙලෙහිගුණ සිහිකිරීමෙන් පසඟ පිහිටවා වන්දනාව හුරු කල යුතුය. චාරිත්රයට වඩා අවබෝධය පෙරටු කර ගත යුතුය.

20. රථ වාහන, පරිඝනක, ජංගම දුරකථන ආදිය නිෂ්පාදනය ආරම්භ කිරීම
අද අපි සිටින තත්වයට සාපේක්ෂව මෙවැනි නිෂ්පාදන කිරීම ප්රයෝගික නොවේ. නමුත් ඉහත වැඩ පිළිවෙල අනුව අප ලබාගන්න ඉදිරි පිම්මෙන් අදින් අවුරුදු පහකින් පසු මෙවැනි නිෂ්පාදන එකලස් කිරීමේ කර්මාන්ත ආරම්භ කලයුතු වේ. නමුත් හිතුමතේ නොව, සෑම ප්රධාන දිස්ත්රික්කයකම එක් කර්මාන්ත ශාලාව බැගින් දේශීය වෙළඳපොල සහ අපනයන පහසුව සලකා බලා මැනවින් ස්ථානගත කොට ආරම්භ කල යුතුය. දිස්ත්රික්ක මට්ටමෙන් එසේ පිහිටවිමේදී “ආර්ථිකය විමධ්යගත” කිරීමේ මුලික ප්රතිපත්තිය උල්ලංගනය නොවන අතර රැකියා අවස්ථා සියලු පුරවැසියන් අතරේ සාධාරණව බෙදී යනු ඇත.
මේ හරහා ආනයනය අවම කර නිමි භාණ්ඩ අපනයනය මගින් විදේශ විනිමය ඉපයීම අප විසින් උපරිම තලයකට ගෙන ආ යුතුය.
භාණ්ඩ එකලස් කිරීමේ පළමු අදියර අවසානයේ එම උපාංග දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් අප විසින් ආරම්භ කල යුතුය. ඒ අනුව “Made in Sri Lanka” යන නාමය ලෝක වෙළඳ පොළේ ඉහලම තලයකට ගෙන ඒම අප සියලු දෙනාගේ යුතුකම සහ වගකීම වන්නේය.

 

ස්තුතිය

මෙම ලිපිය කියවීම සඳහා ඔබ ගතකල කාලයට බොහොම ස්තුති.
මෙවැනි රටක් අපිට ඇත්තටම ගොඩනැගිය නොහැකිද? තීරණය ඔබ මා අතේ ම පමණයි.

අදම ඔබගේ හිත මිතුරන්ට මෙය ශෙයා කර මේ ජාතික කටයුත්තට එක් වෙන්න.

අක්ෂර වැරදි ආදිය සියල්ලටම සමාවන්න. මෙය දළ පිටපතයි.
ආචාර්ය බුද්ධික අදිකාරී
----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

 

2022 සඳහා මා යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාව මෙතැනින් කියවන්න.