අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාව - 2022


අරමුණ: නිෂ්පාදන ආර්ථිකයකට අවශ්‍ය දක්ෂයන් බිහි කිරීම, ගුණගරුක දැනුවත් බුද්ධිමත් සමාජයක් බිහිකිරීම, සියලු දරුවන්ට සම අධ්‍යාපන අවස්ථා සැලසීම, අනවශ්‍ය තරඟය සහ මානසික ආතතිය අල්ප කිරීම, අධ්‍යාපනය මුදලට විකිණීම අවම කිරීම, දෙමව්පියන් විසින් දැරිය යුතු අධ්‍යාපන වියදම් අවම කර නොමිළේ අධ්‍යාපනය සත්‍ය වශයෙන්ම සියලු ජනතාවට නොමිළේ ලබා දීම, රටට ප්‍රයෝජනවත් තරුණ පරම්පරාවක් ගොඩ නැගීම.

2022 වසර සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාව

 

පුර්ණ නිමකිරීමට ඇස්තම්න්තු කාලය වසර 5 කි.

- ආචාර්ය බුද්ධික අදිකාරී -   

(දළ පිටපතක් බව කරුණාවෙන් සලකන්න.)

 

2022 සඳහා මා යෝජනා කරන විමධ්‍යගත ආර්ථික සැලසුම.

 

අරමුණ: නිෂ්පාදන ආර්ථිකයකට අවශ්‍ය දක්ෂයන් බිහි කිරීම, ගුණගරුක දැනුවත් බුද්ධිමත් සමාජයක් බිහිකිරීම, සියලු දරුවන්ට සම අධ්‍යාපන අවස්ථා සැලසීම, අනවශ්‍ය තරඟය සහ මානසික ආතතිය අල්ප කිරීම, අධ්‍යාපනය මුදලට විකිණීම අවම කිරීම, දෙමව්පියන් විසින් දැරිය යුතු අධ්‍යාපන වියදම් අවම කර නොමිළේ අධ්‍යාපනය සත්‍ය වශයෙන්ම සියලු ජනතාවට නොමිළේ ලබා දීම, රටට ප්‍රයෝජනවත් තරුණ පරම්පරාවක් ගොඩ නැගීම. 

 

ගැටලුව හඳුනා ගැනීම 

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස අප සලකන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාට දහස්වරක් ස්තුති වන්නට අද ශ්‍රී ලංකික ජනතාව වන අපට නොමිලේ අධ්‍යාපනය ලැබීමේ වරම් හිමි වී තිබේ. 

මේ සැලසුම යෝජනා කරන මාද එකී නිදහස් අධ්‍යාපනයේම නිෂ්පාදනයකි. 

 

නමුත් අද වන විට අප රටේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ආකෘතියේ බොහෝ ගැටළු ඇති වී තිබේ. 

එම මුලික ගැටළු නම්,

 

  1. 1. දැනුම වෙනුවට සහතික පසුපස හඹා යන මානසිකත්වයක් ඉස්මතු වීම.
  2. 2. ගුණගරුක බව වෙනුවට එකිනෙකා පරයා යෑමට පුහුණු කිරීම.
  3. 3. නොමිලේ අධ්‍යාපනය වෙනුවට දෙමවුපියන්ට විශාල මුදලක් වැය කිරීමට සිදුවීම.
  4. 4. දරුවන්ගේ අධ්‍යාපනය දෙමව්පියන්ට බරක් සහ මානසික පිඩාවක් බවට පත් වීම.
  5. 5. බිහිවන උගතුන්ගෙන්ද රටේ සංවර්ධනයට හෝ සමාජීය දියුණුවට සිදුවන දායකත්වය ප්‍රමාණවත් නොවීම.

 

ගැටලුව පිටුපස ඇති විශ්වාස පද්ධතිය හඳුනා ගැනීම.

ඉහත කී ගැටළු අද පවතින අධ්‍යාපන ආකෘතිය නිසා ඍජුවම පෝෂණය වන්නක් වුවත් ඒ සඳහා මුලිකව බලපාන කරුණ නම් අද ලාංකීය සමාජයේ ඇති විශ්වාස පද්ධතියයි. 

 

  1. 1. දරුවාට හොඳ පාසලක් ලබාගත නොහැකි වුවහොත් ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් විය නොහැකිය,
  2. 2. දරුවා ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් නොවුනොත් සාමාන්‍යපෙළ සඳහා හොඳ පාසලක් ලබාගත නොහැකිය,
  3. 3. හොඳ පාසලක් නොලැබුනොත් සාමාන්‍යපෙළ විභාගය හොඳින් සමත්විය නොහැකිය,
  4. 4. සාමාන්‍යපෙළ හොඳින් සමත් නොවුනොත් උසස්පෙළ සඳහා හොඳ පාසලක් ලබාගත නොහැකිය,
  5. 5. උසස්පෙළ සඳහා හොඳ පාසලක් නොලැබුනොත් උසස්පෙළ සමත් වී විශ්වවිද්‍යාලයකට යා නොහැකිය,
  6. 6. විශ්වවිද්‍යාල උපාධියක් නොලැබුවොත් හොඳ රැකියාවක් නොලැබෙනු ඇත.

 

සමාජය දෙස බැලීමේදී ඇතැමුන් තුල මේ කරුණු සියල්ලමද තවත් අය තුල කිහිපයක් ද මුල් බැස ඇති බවක් පමණක් නොවේ ඒ විශ්වාස පද්ධතිය බොහෝ අවස්ථාවලදී නිවැරදි බවද පෙනේ. 

එසේ නම් ප්‍රශ්නය විසඳිය යුත්තේ මේ විශ්වාස පද්ධතිය ප්‍රසිද්ධියේ අසත්‍ය බවට පත්වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුමකින් පමණක් බව මම තදින්ම විශ්වාස කරමි.

 

ගැටලුව විසඳීම 

ප්‍රථමික සහ ද්විතීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය  

දක්ෂයන්ට හොඳ පාසල් කියන දෘෂ්ඨිය අත්හැර "සියලු දරුවන්ට හොඳ පාසල්" කියන සංකල්පයට යා යුතුය. ඒ සඳහා පහත පියවර අනුගමනය කල යුතුය. 

 

  1. 1. දිවයිනේ පාසල් සියල්ල (10,000 ක් පමණ) එක් ලැයිස්තුවකට ගෙන අවම පහසුකම් ඇති පාසල් සියල්ල හඳුනාගෙන ඒ පහසුකම් සාමාන්‍ය තත්වයකට උසස් කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කල යුතුය. 

 

  1. 2. එම ලයිස්තුවේ පහතම පාසලට වැඩිම ප්‍රතිපාදන වෙන් කල යුතු අතර ඉහලම 40% සඳහා කිසිදු ප්‍රතිපාදන වෙන් නොකළ යුතුය. එම 40% ක් පාසල් පෞද්ගලික ගිණුම්වල ඇති ප්‍රතිපාදන වලින් 70%ක් රජයට අය කොට ගෙන අඩු පහසුකම් සහිත 60% සඳහා පාසල් සංවර්ධනය කිරීමේ අරමුදලට බැර කල යුතුය. 

 

  1. 3. සියලු රාජ්‍ය නොවන පාසල් සඳහා පසුව වැඩි කිරීමේ අරමුණින් දැනට එකී පාසල් වල අධ්‍යාපන අය කිරීම් වලින් 100% බද්දක් අය කර එම මුදල් රජයේ පාසල් සංවර්ධනය කිරීමේ අරමුදලට බැර කල යුතුය. 
  2. අද පෞද්ගලික පාසල් තෝරා ගන්නා බොහෝ දෙනෙක් එසේ කරන්නේ රජයේ පාසල් ගැන ඇති අපැහැදීම නිසාය. ඔවුන්ගේ දරුවන්ට මේ සැලසුමෙන් පසු සුදුසු රජයේ පාසල් ලැබෙනු ඇත. පහත යෝජනා කරන රැකියා ඉලක්ක කිරීමේ වැඩපිළිවෙල නිසා පෞද්ගලික පාසල් සඳහා ජනතාවගේ ඉල්ලුම ශීග්‍රයෙන් අඩුවනු ඇත. 
  3. විදේශීය පවුල් වල දරුවන්ට පමණක් පෞද්ගලික පාසල් සුදුසු වනු ඇත. 

 

  1. 4. රටේ අත්‍යවශ්‍ය නොවන ගොඩනැගිලි සහ මාර්ග ඉදි කිරීම වසර දෙකකට කල් දමා එම මුදල් මේ සඳහා වෙන් කල යුතුය. 

 

  1. 5. අධ්‍යාපන අමාත්‍යංශයේ ඍජු අධීක්ෂණය යටතේ ඉතාම කෙටි කාලීන ඉලක්ක සහිතව එකී 60%ක් වූ පාසල් කඩිනමින් සංවර්ධනය කල යුතුය. මේ අනුව පාසල් අතර ඇති පහසුකම් විෂමතාවය ඉතාම කෙටි කාලයකින් සාධාරණ මට්ටමින් අවම කර ගත හැකිය. 

 

  1. 6. පාසල්වල හොඳ නරක තීරණය කිරීමේදී ජනතාව ඒ ඒ පාසල්වල ඇති පහසුකම් වලට අමතරව දක්ෂ ගුරුවරුන් ඇති නැති බවද සලකති. ඒ බැවින් එක් ගුරුවරයෙකු අවුරුදු 10ක් ඇතුලත එක් පාසලකට අනුයුක්ත වී සිටිය හැකි කාලය අවුරුදු 3 කට සිමා කල යුතුය. නමුත් දුෂ්කර සේවය අවසන් කර ඇත්නම් ඔහුට හෝ ඇයට තම පදිංචියේ සිට 5km ක් ඇතුලත පාසලක් ලබා දිය යුතුය. මේ ක්‍රමයේදී සිදුවන්නේ ඒ ඒ ප්‍රදේශ තුල ගුරුවරුන් අවුරුදු තුනෙන් තුනට පාසල් හුවමාරු කර ගැනීමක් පමණයි. 

 

  1. 7. ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර ඉහත යෝජනා අනුව පමණක් දරුවන්ට පාසල් ලබා දීම කල යුතුය. 

 

  1. 8. සාමාන්‍ය පෙළ ප්‍රථිපල අනුව පාසල් ලබා දීමද තහනම් කර ඉහත යෝජනා අනුව පමණක් දරුවන්ට පාසල් ලබා දීම කල යුතුය. 

 

  1. 9. දැනට පවතින ක්‍රමය විධිමත්ව ක්‍රියාත්මක කර පදිංචියේ සිට කිලෝමීටර දෙකක හෝ ආසන්නම පාසලක් පමණක් දරුවන්ට ලබා දිය යුතුය. මුදල් බලය නිල බලය ආදිය භාවිත කිරීම සපුරා තහනම් කර දැනට පවතින ක්‍රමය ක්‍රියාත්මක කල යුතුය.

 

  1. 10. දැනට පවතින ක්‍රමය විධිමත්ව ක්‍රියාත්මක කර පදිංචියේ සිට කිලෝමීටර පහක හෝ ආසන්නම පාසලක් පමණක් ද්විතිය අධ්‍යාපනය සඳහා දරුවන්ට ලබා දිය යුතුය. මුදල් බලය නිල බලය ආදිය භාවිත කිරීම සපුරා තහනම් කර දැනට පවතින ක්‍රමය ක්‍රියාත්මක කල යුතුය.

 

  1. 11. සියලුම ගුරුවරුන්ට තම පාසලේ දරුවන්ට මුදල් හෝ වෙනත් දීමනා වෙනුවෙන් පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් විය යුතුය. 

 

  1. 12. ගුරුවරුන් නිතැතින්ම දරුවන්ට ආදරය කරුණාව මුල් කරගෙන ඉගැන්වීම් කල යුතුය. අවශ්‍ය තැන දඬුවම් කලත් වෛරයෙන් නොව කරුණාවෙන්ම කල යුතුය. ගුරුවරුන්ගේ මේ ගුණාත්මක බව ගැන දෙමව්පියන්ගේ අදහස් පරිඝනක ගත ක්‍රමයක් (Feedback Rating) මගින් වසරකට තුන් වරක් වාර්තා කල යුතුය. 
  2. එහිදී වසරක සාමාන්‍ය අගය 60% ට අඩු ලකුණු ලාභී ගුරුවරුන් තෙවරක් දක්වා පුහුණු කොට ලකුණු මට්ටම දියුණු කර ගත යුතුය. ඒසේ නොවන්නවුන් ගුරු වෘතියෙන් ඉවත් කොට රජයේ වෙනත් අංශවලට මාරු කල යුතුය. දරුවන්ට ඉගැන්වීමේ නොයෙදවිය යුතුය. 

 

  1. 13. දෙමව්පියන් විශේෂ කරණා හැරුණු කොට වසරකට තුන් වරකට වඩා පාසලට නොකැඳවිය යුතුය. පාසලේ නඩත්තු කටයුත්තු හෝ වෙනත් කටයුතු වෙනුවෙන් දෙමව්පියන්ගෙන් මුදල් එකතු නොකළ යුතුය. දරුවාගේ පාසල හෝ අධ්‍යාපනය කිසිම විටෙක දෙමව්පියන්ගේ ආර්ථිකයට බරක් නොවිය යුතුය, රැකියා ආදිය කටයුතුවලට බාදාවක් නොවිය යුතුය.

 

  1. 14. පෙර පාසල් දරුවන්ට සියලුම ඉගැන්වීම් තහනම් කල යුතුය. එම ආයතන ක්‍රීඩා කණ්ඩායම් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පමණක් විය යුතුය. දරුවන්ගේ ඉගෙනුම පාසලට පමණක් බාර කල යුතුය. 

 

  1. 15. 5 වසර  දක්වා දරුවන්ට අධ්‍යාපනයේ තරඟකාරිත්වය හුරු නොකොට 
  2. - තරඟකාරී එළිමහන් ක්‍රීඩාවලට ඔවුන්ගේ පාසල් කාලයෙන් 20% ක්ද 
  3. - සිංහල සහ ඉංග්‍රීසි වෙනුවෙන් 20% ක්ද 
  4. - ගණිතය වෙනුවෙන් 15% ක්ද 
  5. - ආදරය සහ කරුණාව මුල්කරගත් “මනුෂ්‍යත්වය” පිළිබඳ ඉගැන්වීම් වෙනුවෙන් 15% ක්ද
  6. - ආගම ඉතිහාසය සහ ජාතික ප්‍රෞඪත්වය වෙනුවෙන් 15% ක්ද 
  7. - චිත්‍ර සහ නිර්මාණාත්මක හැකියාව වෙනුවෙන් 15% ක්ද වෙන්කිරීමට මම යෝජනා කරමි

 

  1. 16. 6, 7 8 වසර දරුවන් 
  2. - ගණිතය සහ විද්‍යාව වෙනුවෙන් 20% ක්ද 
  3. - තරඟකාරී එළිමහන් ක්‍රීඩාවලට ඔවුන්ගේ පාසල් කාලයෙන් 15% ක්ද 
  4. - සිංහල සහ ඉංග්‍රීසි වෙනුවෙන් 15% ක්ද 
  5. - ආදරය, කරුණාව සත්‍යවාදී බව, හැදියාව, හික්මීම, ප්‍රතිපත්ති ගරුක බව, ගුණවත් බව, අන්‍යෝන්‍ය ගරුත්වය, ප්‍රියවචනය ආදිය මුල්කරගත්  “මනුෂ්‍යත්වය”, ආගම සහ භාවනාව වෙනුවෙන් 12% ක්ද 
  6. - ලී, යකඩ, මැටි, ඇඳුම්, ආහාර ආදි තාක්ෂනය හා නිෂ්පාදනය පුහුණුව වෙනුවෙන් 10%
  7. - කෘෂිකර්මය සහ කෘෂි නිෂ්පාදනය වෙනුවෙන් 10%
  8. - සාහිත්‍ය සහ කලා විෂයන් වෙනුවෙන් 8% ක්ද 
  9. - තොරතුරු තාක්ෂනය වෙනුවෙන් 5% ක්ද 
  10. - සමාජ අධ්‍යයනය ඉතිහාසය සහ ජාතික ප්‍රෞඪත්වය වෙනුවෙන් 5% ක්ද වෙන්කිරීමට මම යෝජනා කරමි.

 

  1. 17. 9 - 13 වසර දරුවන් ඍජුව සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ විභාග සඳහා සාමාන්‍ය පරිදි පුහුණු කල යුතු අතර ලෝකයේ නව තාක්ෂණික දියුණුව අනුව නව විෂය ධාරා එක් කල යුතුයි. 





ත්‍රිතිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යපනය ඉතාම ඉහල ස්ථානයක ඇතත් සීමිත සිසුන් ගණනකට පමණක් අවස්ථාව ඇති බවත් විශ්වවිද්‍යාල උපාධි රැකියා වෙළඳපොළට අවශ්‍ය ආකාරයට සකස් නොවී ඇති බවත් යනු අපිට ඇති මුලික ගැටළු දෙකකි. 

 

මෙහිදී අප තේරුම් ගත යුතු වැදගත් කරුණු දෙකකි. 

 

  1. 1. විශ්වවිද්‍යාල උපාධි රටේ සියලුදෙනාම යම් හෙයකින් ලබා ගතහොත් එම උපාධියේ අගය අපොස සාමාන්‍ය පෙළ විභාගයේ තත්වයට පහත වැටෙනු ඇත. ඒ ඒ  ක්ෂේස්ත්‍ර වල දක්ෂයන් අතර අතිදක්ෂයන්හට පමණක් උපාධි හිමි වුවහිත් පමණක් එම උපාධියේ වටිනාකම අද තත්වයේම පවතිනු ඇත. මේ කතාව තව දුරටත් විග්‍රහ කල යුතු නමුත් මෙතැනින් නවතිමි. 

 

  1. 2. විශ්වවිද්‍යාල උපාධි යනු රැකියා පුහුණු පාඨමාලා “නොවන” බව අපි තේරුම් ගත යුතුය. රැකියා වෙළඳපොලේ තරඟයට මුහුණ දීම සඳහා පිළිගත් උපාධික් ප්‍රයෝජනවත් වන බව ඒකාන්ත සත්‍ය වුවත් උපාධියක් යනු මහා දැනුම් සම්භාරයක් මිස රැකියා පුහුණුවක් නොවේ.

 

උපාධියක අවශ්‍යතාවය ඒ ඒ විෂය ක්ෂේස්ත්‍රය ගැඹුරින් හැදෑරීමට අවශ්‍ය මුලික දැනුම් පද්ධතිය ලබා දීමයි.  

එසේනම් රටක් ලෙස අපට අවශ්‍යවන්නේ වෛද්‍යවරු, ඉංජිනේරුවන් හෝ විද්‍යාඥයන් ලක්ෂ ගණනක් නිර්මාණය කිරීම නොවේ. කල යුත්තේ අපේ දරුවන්ට අධ්‍යාපන ක්‍රමය තුල අතරමන් වීමට ඉඩ නොතබා රැකියා අවස්ථා සඳහා පුහුණු කොට ගැනීමයි. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙත පුහුණු දක්ෂ වෘත්තිකයන් නිර්මාණය කර දීමයි. 

 

ඒ සඳහා රැකියා වෙළඳපොළේ තරඟ කිරීමට අද එකම අවිය ලෙස සලකන උපාධිය වෙනුවට සැබෑම ඉලක්කගත ජාතික ඩිප්ලෝමාවක් National Diploma in Management and Entrepreneurship (NDME) නමින් ආරම්භ කිරීමට මම යෝජනා කරමි. 

 

දැනට මා සතු දත්ත අනුව වසරකට 220,000 ක් පමණ සිසුන් උසස් පෙළ කඩයිමට මුහුණ දෙති. ඉන් 23,000 පමණක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වරම් ලබති. 

 

මා යෝජනා කරනු ලබන්නේ වසරකට තවත් සිසුන් 60,000 කට පෞද්ගලික අංශය සමග එක්ව NDME අවස්ථාව ලබා දෙන ලෙසයි. 

 

සාමාන්‍ය ක්‍රමයට කළහොත් මෙවැනි පිරිවැයක් රජයට දැරීම මේ කාලයේ කිසිසේත්ම කල නොහැක. එනිසා විශ්වවිද්‍යාල, ද්විතික පාසල් සහ පෞද්ගලික අංශය මේ සඳහා පහත පරිදි අත්වැල් බැඳගත යුතුය. 

 

  1. 1. විශ්වවිද්‍යාල වරම් අහිමි වෙන දරුවන්ට මේ සඳහා ඉල්ලුම් කල හැකි වියයුතුය. ඒ අතරින් උසස්පෙළ සඳහා ඉහලම ලකුණු ලබාගත් 60,000 වසරකට ඇතුලත් කර ගත යුතුය. 

 

  1. 2. පිළිගත් රජයේ විශ්වවිද්‍යාල එක් විශ්වවිද්‍යාලයකට 5,000ක පමණ අනුයුක්ත කර ගත යුතුය. 

 

  1. 3. සියලුම බඳවා ගැනීම් සහ ශිෂ්‍ය පරිපාලන කටයුතු විශ්වවිද්‍යාලය යටතේ ද්විතික පාසල් හරහා කල යුතුය. මේ අනුව එක් පාසලකට වසරක සුසුන් 10 දෙනෙකුගේ පමණ පරිපාලන වගකීම පැවරෙනු ඇත. 

 

  1. 4. මෙකි සියලු කටයුතු මෘදුකාංග හරහා අවම ශ්‍රමයෙන් කල යුතුය. ඒකී අවම ශ්‍රමය පාසලේ විදුහල්පතිවරයාගේ නායකත්වයෙන් සකස් කල ගුරු මණ්ඩලයක් හරහා සිදු කල යුතුය. 

 

  1. 5. ශිෂ්‍ය පරිපාලන සහ ඇගයීම් සඳහා විශ්වවිද්‍යාලද නුතන දුරස්ථ අධ්‍යාපන මෘදුකාංග භාවිතා කල යුතුය. 

 

  1. 6. මෙම පාඨමාලාව සඳහා ඉහල පෙලේ පෞද්ගලික ආයතන අනුබද්ද කරගැනීම උසස් අධ්‍යාපන අමාත්‍යංශය හරහාත් කුඩා පරිමාණ ආයතන බඳවා ගැනීම ද්විතික පාසල් හරහාත් කල යුතුය. 

 

  1. 7. සියලු වගකීම් අධ්‍යාපන අමාත්‍යවරයා සතු විය යුතුය. 

 

  1. 8. යෝජිත NDME ආකෘතිය තුන් වසරක කොටස් 6 ක පුහුණු පාඨමාලාවකි. සෑම NDME ධාරාවක්ම කළමනාකාරී රැකියාවක් හෝ ව්‍යවසායකත්වයක් ඍජුව ඉලක්ක කල යුතුය. Entrepreneurship (ව්‍යවසායකත්වය), Sales Manager, Business Development Manager, Marketing Manager, Operations Manager, Planning Manager, HR Manager, Design Manager, Factory Manager, Field Manager, Office Manager, Plantation Manager ආදී වශයෙන් ඉංජිනේරු, වෛද්‍ය, හෙද, මෘදුකාංග, පරිඝනක, ඖෂධවේදී, ආදිය ගැඹුරු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවෙන කළමනාකාරී තනතුරු පමණක් ඉලක්ක ගත යුතුය. 
  2. මක්නිසාද යත් එවැනි ගැඹුරු තාක්ෂණික දැනුමක් මෙවැනි වැඩසටහනකින් ලබා දිය නොහැකි නිසාත් ඒ සඳහා උපාධිදාරීන් නිර්මාණය වන නිසාත් ය. 

 

  1. 9. පෞද්ගලික අංශයේ ඉහල තනතුරු දරණ කළමනාකාරී අත්දැකීම් බහුල පස් දෙනා බැගින් වූ කමිටු හරහා එකී NDME ධාරා එකින් එක සඳහා කොටස් 6 ක් යටතේ පෞද්ගලික අංශයේ ස්ථානගත කිරීම් 6ක් සැලසුම් කල යුතුය.

 

  1. 10. ඊට අමතරව එම කමිටු විසින් ඒ ඒ ස්ථානගත කිරීම් වලදී ශිෂ්‍යයන් විසින් පරිශීලනය කලයුතු ග්‍රන්ථ 12 ක්, එක් ස්ථානගත කිරීමක් සඳහා 2 බැගින්, නිර්දේශ කල යුතුය. 

 

  1. 11. ඊට අමතරව සෑම වසරකදීම ඔවුන් හෝ ඔවුන්ගේ අනු කමිටු විසින් ඒ ඒ ස්ථානගත කිරීම් සහ ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ශිෂ්‍යයා උකහාගත් ප්‍රයෝගික සහ න්‍යායාත්මක දැනුම පරික්ෂා කිරීම සඳහා ප්‍රශ්න 400 බැගින් වූ MCQ ප්‍රශ්න පත්‍ර 6 ක් සැකසිය යුතුය. 

 

  1. 12. ඉහත පියවර තුලින් NDME පාඨමාලාව  අවසානයේ ඉලක්ක කල ධාරාවේ ව්‍යවසායකත්වයට හෝ  කළමනාකාරී තනතුරට අවශ්‍ය සියල්ම දැනුම සහ දක්ෂතා පද්ධතිය එම ශිෂ්‍යයන්ට නිරාවරණය විය යුතුය. ඉන්පසු ශිෂ්‍යයා අවුරුදු 5ක පමණ අත්දැකීම් වලින්, වයස අවුරුදු 27 වනවිට ශිෂ්‍යයා එම කළමනාකාරී තනතුර දැරීමට සුදුස්සෙක් විය යුතුය. 

 

  1. 13. සතිපතා පැයක රුපවාහිනී වැඩසටහන් මගින් අධ්‍යාපන ආකෘතියේ සිදුකල මෙම වෙනස්කම්  ගැන ජනතාව දැනුවත් කල යුතුය. අනවශ්‍ය තරඟය අත්හැර මෙම ක්‍රමයට අනුගත වීම සඳහා උනන්දු කල යුතුය. 

 

  1. 14. NDME පාඨමාලාව සඳහා සුදුසුකම් නොලබන දරුවන් රජයේ සහ පෞද්ගලික තාක්ෂණික ආයතන වෙත සාමාන්‍ය පරිදි යොමු කල යුතුය. ඉහත රුපවාහිනී වැඩසටහන් ඒ සඳහාද භාවිතා කල යුතුය. අද පවා එවැනි බොහෝ අවස්ථා ඇතත් ජනතාව ඒ පිළිබඳව හරි හැටි නොදනිති. 

 

  1. 15. පළමු අදියරේ මෙම වැඩපිළිවෙල සාර්ථක වීමෙන් පසු රැකියා වෙළඳපොලේ අවශ්‍යතාවය නැවත සලකා බලා NDME සිසුන් ගණන 100,000 හෝ 120,000 පමණ දක්වා වැඩි අපහසුවකින් තොරව වැඩි කල හැකිය. 

 

ස්තුතිය

මෙම ලිපිය කියවීම සඳහා ඔබ ගතකල කාලයට බොහොම ස්තුති.
මෙවැනි රටක් අපිට ඇත්තටම ගොඩනැගිය නොහැකිද? තීරණය ඔබ මා අතේ ම පමණයි.

අදම ඔබගේ හිත මිතුරන්ට මෙය ශෙයා කර මේ ජාතික කටයුත්තට එක් වෙන්න.

අක්ෂර වැරදි ආදිය සියල්ලටම සමාවන්න. මෙය දළ පිටපතයි.


ආචාර්ය බුද්ධික අදිකාරී
----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

 

2022 සඳහා මා යෝජනා කරන විමධ්‍යගත ආර්ථික සැලසුම මෙතැනින් කියවන්න.

9641 Views