කාලාම ප්‍රතිපත්ති හෙවත් ලාංකීය සංස්කෘතික සහ සාමාජිය ප්‍රතිසංස්කරණ යෝජනාව - 2021


අරමුණ: යහපත් සිංහල බෞද්ධ සමාජයක් ගොඩ නැගීම.

 

සියලුම කාලාම සාමාජිකයින් වෙත, 

කාලාම සාමාජිකයින් ලෙස ඔබට මුදල් ගෙවීමක් නැත, කාලාමයේ සන්නාමයෙන් එන භාණ්ඩ මිලදී ගැනීමක් නැත, සාමාජික ගාස්තු ගෙවීමක් නැත. රැස්වීම් වලට පැමිණීමක් හෝ වෙනත් වියදම් දැරීමක් හෝ නැත. කාලාම සාමාජිකයෙකු ලෙස ප්‍රකාශ කිරීමද අවශ්‍ය නැත. කාලාම අඩවියේ හෝ App එකේ ලියාපදිංචියද අවශ්‍ය නොවේ. 

 

එසේ නම් කාලාම සාමාජිකයෙකු කවරෙක්ද? 

පහත මා යෝජනා කරන ප්‍රතිපත්ති සහ පුරුදු ඔබගේ ජිවිතයට එකතු කර ගන්නා යම් කෙනෙක් වේද ඔහු හෝ ඇය කාලාම සාමාජිකයෙක් නොහොත් කාලාමවරයෙක් ලෙස මම සලකමි. වෙනත් කිසිම සුදුසුකමක් අවශ්‍ය නොවේ. 

එසේම අන් කවර සුදුසුකමක් තිබුනද එකී ප්‍රතිපත්ති අනුගමනය නොකරන්නෙකු කාලාමවරයෙකුද නොවේ. 

 

2022 සඳහා මා යෝජනා කරන විමධ්‍යගත ආර්ථික සැලසුම මෙතැනින් කියවන්න.

2022 සඳහා මා යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාව මෙතැනින් කියවන්න.

 

කාලාම ප්‍රතිපත්ති හෙවත් ලාංකීය සංස්කෘතික සහ සාමාජිය ප්‍රතිසංස්කරණ යෝජනාව - 2021

 

අරමුණ: යහපත් සිංහල බෞද්ධ සමාජයක් ගොඩ නැගීම.

 

චක්කවත්ති සීහනාද සූත්‍රයේ බුදුන්වහන්සේ දේශනා කරන එක් කතාවකට අනුව මනුෂ්‍යයින්ගේ ගුණ ධර්ම පිරිහීම නිසා ඔවුන්ගේ දරුවන්ගේ පරමායුෂ අඩුවේ. ඔවුන්ගේ ගුණ ධර්ම තවදුරටත් පිරිහීම නිසා ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ තවත් අඩුවේ. 

මෙසේ පරම්පරාවෙන් පරම්පරාව ආයුෂ අඩුවීමෙන් මනුෂ්‍යයන්ගේ පරමායුෂ දස වසර දක්වා අඩුවූ තැන ආයුධ වලින් කපා කොට ගෙන මනුෂ්‍යයන් එකිනෙකා විනාශ කර ගනිමින් අප ජිවත්වන කල්ප විනාශය වන්නේය. 

ඒ මහා විනාශයෙන් මරණයෙන් මිදී ඉතිරිවන මනුෂ්‍යයන් “අපගේ අයහපත් ක්‍රියා කලාපය නිසා මෙසේ මනුෂ්‍යයා විනාශ විය, එබැවින් දැන්වත් අප ගුණ ධර්ම ආරක්ෂා කරගෙන යහපත් ජීවිකාවක් පැවැත්විය යුතුය” යාදී වශයෙන් කල්පනා කොට ගුණ ධර්ම හැකි පමණින් ආරක්ෂා කිරීම් ආරම්භ කරන්නෝය. එහි ප්‍රථිපලයක් වශයෙන් ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ වැඩිවන්නට පටන් ගන්නේය. 

මෙසේ පරම්පරාවෙන් පරම්පරාව ආයුෂ වැඩි වීමෙන් නැවතත් මනුෂ්‍යයන්ගේ සැප බහුල සමෘදිමත් යුගයක් උදා වන්නේය. 

 

මා විශ්වාස කරන පරිදි අපගේ පිංවත් සිංහල දීපයද ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපනික  සංස්කෘතික සහ සාමාජිය වශයෙන් දැන් පිරිහුණු තත්වයකට පත්වී තිබේ. එබැවින් දසවස දක්වා ආයුෂ පිරිහුණු මිනිසුන් මෙන් අපද අපගේ වැරදි නැවත සම්පර්ශනය කර වහා නිවැරදි කිරීමේ කාලය එළඹ ඇත. 

ජාතියේ මුදුන්මල්කඩ නියෝජනය කරන ඇතැම් භික්ෂුන්වහන්සේලා ප්‍රසිද්දියේ සමාජ මාධ්‍ය ජාලා හරහා නැණවතුන් විසින් පරිභව කරන බහුභාණ්ඩික අලජ්ජි ජීවිකාවක් වටිනා   ජීවිකාවක් මෙන් ප්‍රදර්ශනය කරන සේක. වර්ණනා කරන සේක.

ඇතැම් තරුණ මහලු පියවරුන් සුරාව, සුදුව සහ සල්ලාල ජිවිකාව අභාරණයක් කොට සලකමින් ගුණවත් ප්‍රතිපත්ති ගරුක  ජීවිකාව දුබලයන්ගේ දුබලකමක් ලෙස හෙලා දකින තැනට වැටි ඇත. 

ඇතැම් තරුණ මහලු මව්වරුන් ඕපාදුප, රුපවාහිනී නාටක, ලාමක නැටුම් ගැයුම් ආදියෙන් දවස ගෙවමින් තම දරුවන්වද ඒ නරාවලටම ඇද දමමින් සිටින්නෝය. 

එවැනි ගුණවත්කම් නොසලකන ජනතාවක් කෙසේ නම් ගුණවත්කම් හඳුනත්ද? ගුණවත්කම් නොහඳුනන ජනතාවක් කෙසේ නම් ගුණවතුන් සොයා තම නායකත්වයේ පිහිටවත්ද? 

ගුණවතුන් නායකත්වයට පත්කර නොගත් ජනතාවක් කෙසේ නම් රටක් ජාතියක් වශයෙන් දියුණුවක් ලබත්ද? 

එවැනි අධර්මිෂ්ඨ පාලකයන් රටත්, ජනතාව මුසාවෙන් රවටත් නම්, සොරාකත් නම්, ජනතාව නොසලකා හරිත් නම්, තම බඩ වඩා ගනිත් නම්, රට පවා දේත් නම් ඒගැන කවර පුදුමයක්ද? 

 

එසේ නම් වරද අප අතේමය. ඒ වරද නිවැරදි කිරීම සඳහා මා ජනතාවට පහත ප්‍රතිපත්තිමය යෝජනා ඉදිරිපත් කරමි. 

අපගේ ගෞරවනීය භික්ෂුන්වහන්සේලාත් ඔබත් එකඟ නම් අප සමග එක්ව එම ප්‍රතිපත්ති අපගේ දරු මුණුපුරන් වෙනුවෙන් තම තම පෞද්ගලික මට්ටමෙන් ක්‍රියාත්මක කරත්වා.

 

 

ගෞරවනීය භික්ෂුන්වහන්සේලා වෙත,  

සියලුම භික්ෂුන්වහන්සේලාගෙන් අවසරයි, 

 

සිල් පද පහක් පමණක් රැක ගන්නට බොහෝ වෙහෙසෙන අප වැනි ගිහියන්ට කෝටියක් සංවර සීලය රැකීමට වෙහෙසෙන, සියලු දුක් කෙලවර කිරීමට වෙහෙසෙන ඔබවහන්සේලා වැනි උත්තමයන් වහන්සේලාට උපදෙස් දීමේ හැකියාවක් නැත්තේය. ඔබ වහන්සේලාම මේ ජාතියේ මුදුන් මල්කඩ වන සේක. 

එබැවින් ඔබවහන්සේලගේ උපාසක උපාසිකාවන් වන අප ආදර, ගෞරවයෙන් යුක්තව ඔබවහන්සේලගේන් ඉතාම බැගෑපත්ව ඉල්ලීම් සතරක් මෙසේ ඉල්ලා සිටිමු. 

 

1. අතිපුජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේගේ බෞද්ධයාගේ අත්පොතේ සඳහන්ව ඇති මහා ගුණයන් යුක්ත භික්ෂුන්වහන්සේලා අපට නෙත පුරා දැක ගැනීමට සලස්වන සේක්වා. 

ඒ සඳහා ඔබවහන්සේලා අන්‍ය භික්ෂුන්වහන්සේලා ප්‍රතිපත්තියේ පිහිට වීමට පෙර  පෞද්ගලික තම තමා වහන්සේ වශයෙන් ප්‍රථමයෙන් එම මහා ගුණයන් දියුණු කර ගන්නා සේක්වා. 



2. ඔවහන්සේලාගේ සාමණේර භික්ෂුන්වහන්සේලාට “මුදල් හෝ සහතික" පසුපස හඹා යන ආදර්ශය, අවවාදය නොදී ඉහත අවවාදයම ලබා දෙන සේක්වා, ආදර්ශයම ලබා දෙන සේක්වා. 

එනයින්, ඔබවහන්සේලගේ ගුණවත් භික්ෂු පරපුර වෙළඳපොල ආර්ථික යුද්ධය හමුවේ සුණුවිසුනු වන්නට ඉඩ නොතබා අපේ බෞද්ධ දරුවන් වෙනුවෙන් රැක ගන්නා සේක්වා. ඒ භාග්‍ය රටක් වශයෙන්, ජාතියක් වශයෙන් අසරණ වූ අපට උදා කර දෙන සේක්වා. 



3. මේ සමාජයට පිළලයක් වන, දරු පරපුර විනාශ කරන, පරිසරය විනාශ කරන, ජාතිය කෙලෙසන, සම්බුද්ධ ශාසනය නොතකා ධනය බලය හඹා යන යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වේද, ඔවුන්ගේ අනුග්‍රහයද, දානයද විනයනුකුලව වර්ජනය කරන සේක්වා. 

ඉන්ද්‍රඛීලයක් මෙන් ධනය බලය නොතකා සත්පුරුෂයන් කෙරෙහි පමණක් විශේෂයෙන් සලකන සේක්වා.



4. මා මේ යෝජනාවේ ඉදිරිපත් කරන කරුණු සිංහල ජාතියේත් එනයින් සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය වෙනුවෙන් ජනතාවට බණ වාර අතරේ පහදා දෙන සේක්වා. 

කෙතරම් පිරිහුණු තත්වයක් අද සමාජයේ ඇතැයි කිවුවත්, අදටත් සිල්වත් භික්ෂුන්වහන්සේ නමකගේ අවවාදයට නිවැරදි මග පෙන්වීමට නැවෙන බොහෝ පිරිසක් ජිවත් වෙති. ඔබවහන්සේලා ඉහත පරිදි උත්සාහවත් වුවහොත් එම පිරිස හිරු දුටු නෙලුම් කැකුළු මෙන් පිපී විකසිත වනු ඇත. එබැවින් අපට අනුකම්පා පිණිස උත්සාහවත් වන සේක්වා. 



මා මේ ඉහත ඔබවහන්සේලගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ රාජ්‍ය අනුග්‍රහය හෝ මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුග්‍රහය හෝ නොමැතිව තමන්වහන්සේ විසින්ම පමණක් ඉෂ්ඨ සිද්ධ කල හැකි කරුණු සතරකි. එකී ඉහල මට්ටම් වලින් කල යුත්ත මා මෙතැන සඳහන් කිරීමට බලාපොරොත්තු නොවෙමි. 

මාගේ මේ ආයාචනය ඔබවහන්සේලා ඉෂ්ඨ කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. අවසරයි ස්වාමින්වහන්ස. 


සිංහල කාන්තාවන් 

අපගේ සංස්කෘතියත්, මනුෂ්‍යත්වයත් බිහි කරන්නවුන් අතර පළමු ස්ථානය කාන්තාවට හිමිවේ කිව හොත් මා නිවැරදිය. ඒ ඇයගේ ආදරය, පෝෂණය, ආදර්ශය සහ අවවාදය අනුව අප සියලුදෙනා සමාජයට පා තබන හෙයිනි. එබැවින් මව්වරුනි, නැගණිවරුණි ඔබට මේ සිංහල රට නැවත බිහි කිරීමේ අප්‍රමාණ බලයක් හිමිවේ.

 

මේ ඔබ ඒ වෙනුවෙන්, ඔබේ රට,ජාතිය සහ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කල යුතු මෙහෙවර සතරයි. 

 

1. විනය: ජපානය වැනි රටවල් වේගයෙන් දියුණුවීමට බලපෑ මුලික කරුණක් වන්නේ ජපනුන්ගේ විනයය. එබැවින් ආරම්භක වශයෙන් ඔබ අන්සතු දේ ගැනීම සහ පරපුරුෂ සේවනයෙන් වැළකිය යුතුය. ඉන්පසු පස් පවෙන්ම වැලකීම පිණිස ක්‍රමයෙන් පියවරෙන් පියවර සිත දියුණු කල යුතුය. ඔබගේ දරුවන්ට ආදර්ශය පිණිස එසේ කල යුතුය. 

මහ කකුළුවන් ඇදයට යමින්, දරුවන්ට කෙලින් යන ලෙස කෙසේ නම් අවවාද දෙන්නද? පස්පවේ යෙදෙන දරුවන් කෙතරම් උගතුන් වුවත්, ධනවතුන් වුවත් ඔබට ඔවුන් ගැන සතුටු විය හැකිද? 

එසේම අද මහා ධනවතෙකු වන ඔබ හෝ ඔබේ දරුවා හෙට අඩි හයක් පස් යට විය හැකිය. මරණයෙන් මතු නැවත භාවයක් නැති නම් ඔබට පස්පව සමාදන් වීමේ බාධාවක් නැත, නමුත් යම් හෙයකින් වැරදීමකින් හෝ මතු භාවයක් තිබුන හොත්? 

එසේ වුවහොත් ඔබ ඊට සුදානම්ද? ඔබගේ දරුවා ඊට සුදානම්ද? 

මේ වගකීම මා සතු නොවේ, ඔබ සතු වේ. එබැවින් තම විනය නිවැරදි කර ගන්න. ඉහත කරුණු ඔබගේ දරුවන්ට පහදා පස්පවින් වැළකෙන සිංහල දරු පරපුරක් බිහි කිරීමේ උත්සාහවත් වන්න. 

මෙසේ අපගේ මුලික විනය සකස් කරගත් විට ආයතනික විනය ආදී සෙසු විනය පද්ධතීන් ස්ථාපිත කර ගැනීම ඉතාම පහසු වේ. 


2. උරුමය: සිංහල අපගේ උරුමය සම්බුද්ධ ශාසනයත් අපගේ ප්‍රෞඪ ඉතිහාසයත් වේ. එබැවින් අපගේ දරු මුණුපුරන් බිහිකරන පෝෂණය කරන මවුවරුන් වන ඔබ සෑම දිනකම සවස තම දරුමුණුපුරන් සහ ස්වාමිපුරුෂයා හිස් රුපවාහිනී වැඩසටහන් වලින් වෙන්කරගෙන දිනකට පැයක කාලයක් ඔවුන්ට ජාතක කතාවක්, ධම්මපද අට්ඨ කතාවක්, ඉතිහාස කතාවක් ආදී කතාවක් කියවිය යුතුය. 

බුදුන් සමයේ සහ අනුරාධපුර යුගයේ ජීවත්වූ භික්ෂුන්වහන්සේලගේ අදහාගත නොහැකි සිල්වත් කම්ද, උපාසක උපාසිකාවන්ගේ මහත් ගුණවත්කම්ද ඔබගේ දරුවන්ට මහත් ආදර්ශයක් වනු ඇත. මග පෙන්වීමක් වනු ඇත. 

අපගේ අතීත රජ වරුන්ගේ සහ යෝධයන්ගේ සුරුවිරු කම්ද, රට දැය සමය වෙනුවෙන් කල මහත් සේවයද ඔබගේ දරුවන්ට මහත් ආදර්ශයක් වනු ඇත. 

මමද මතු යම් දිනක එවැනි රජ කෙනෙක් හෝ පුද්ගලයෙකු වන්නෙමි’යි වටිනා සිත් ඔවුන්ට පහල වනු ඇත. එවැනි දරු පරපුරක්ම අනාගතයේ මේ රටට නැවතත් භාග්‍ය උදා කරනු ඇත. 



3. වගාව: ඔබ රැකියාවක් කරන හෝ නොකරන කාන්තාවක් විය හැකිය. නමුත් ඔබ අනිවාර්යයෙන්ම ගෙවත්තේ වස විස නැති භෝග ස්වල්පයක් හෝ වගා කල යුතුය. 

එසේම මේ වගා කටයුතු සඳහා ඔබගේ දරුවන් හැකි හැමවිටම එක් කරගත යුතුය. 

ඒ ආහාර ඔබගේ පවුලේ සෞඛ්‍ය රකිනු ඇත. විස රසායනිකයන් ඔබගේ ආහාරයේ අල්ප වනු ඇත. ඔබගේත් ඔබගේ දරුවන්ගේත් ජිවිත පිළිකා රෝහලෙන් අවසාන වීමේ දුර්භාග්‍ය ඈත් වනු ඇත. 

ඔබට කාලය ඇත්නම්, ඒ පළදාව විකිණීම සඳහා සුදුසු නිමි භාණ්ඩලෙසට සරල ගෘහස්ත නිෂ්පාදන ක්‍රියාවලියක් මගින් පරිවර්තනය කළහැකි ඔබද නිවසේ සිටම රටේදළ ජාතික නිෂ්පාදනය නිෂ්පාදනයට දායක වන්නියක් වන්නේය, රටට වටිනා පුරවැසියෙක් වන්නේය.

එබැවින් ඔබට කාලය ඇත්නම් "2030 වන විට විදේශ වෙළඳපොල අතික්‍රමණය කරන සිංහල Made in Ceylon ව්‍යවසායකයින් 10,000ක්" යන අපගේ ව්‍යායාමයට එකතු වන්න. 

4. සෞඛ්‍ය: මවක් වශයෙන් ඔබගේ ස්වාමිපුරුෂයාගේත්, මවුපියන්ගේත්, දරුවන්ගේත් සෞඛ්‍ය රැකීම ඔබගේ පරම යුතු කමක් වේ. එබැවින් හැකි හැමවිටම කෘතීම රසකාරක වර්ණක ආදිය නොමැති ආහාර වර්ග ගෙදරම පිස ඔබගේ පවුල ආරක්ෂා කල යුතුය. 

කැස්ස හෙම්බිරිස්ස්සව ආදිය කුඩා අසනීප සඳහාත් බටහිර වෛද්‍යවරුන් සොයා නොදුවා පස්පංගුව, දෙහි, ඇඹුල් දොඩම්, ඉඟුරු, කොත්තමල්ලි ආදී දේශීය අතුරැඅබාධ නොමැති ඖෂධවලට තම පවුල හුරු කළ යුතුය. 

මහත් අසනීප, විශේෂ ප්‍රතිශක්තිකරණ එන්නත් ආදිය සඳහා පමණක් බටහිර වෛද්‍යවරුන් හමුවන්න. 



සිංහල පුරුෂයන් 

 

1. විනය: ජපානය වැනි රටවල් වේගයෙන් දියුණුවීමට බලපෑ මුලික කරුණක් වන්නේ ජපනුන්ගේ විනයය. එබැවින් ආරම්භක වශයෙන් ඔබ අන්සතු දේ ගැනීම සහ පරස්ත්‍රී  සේවනයෙන් වැළකිය යුතුය. ඉන්පසු පස් පවෙන්ම වැලකීම පිණිස ක්‍රමයෙන් පියවරෙන් පියවර සිත දියුණු කල යුතුය. ඔබගේ දරුවන්ට ආදර්ශය පිණිස එසේ කල යුතුය. 

මහ කකුළුවන් ඇදයට යමින්, දරුවන්ට කෙලින් යන ලෙස කෙසේ නම් අවවාද දෙන්නද? පස්පවේ යෙදෙන දරුවන් කෙතරම් උගතුන් වුවත්, ධනවතුන් වුවත් ඔබට ඔවුන් ගැන සතුටු විය හැකිද? 

එසේම අද මහා ධනවතෙකු වන ඔබ හෝ ඔබේ දරුවා හෙට අඩි හයක් පස් යට විය හැකිය. මරණයෙන් මතු නැවත භාවයක් නැති නම් ඔබට පස්පව සමාදන් වීමේ බාධාවක් නැත, නමුත් යම් හෙයකින් වැරදීමකින් හෝ මතු භාවයක් තිබුන හොත්? 

එසේ වුවහොත් ඔබ ඊට සුදානම්ද? ඔබගේ දරුවා ඊට සුදානම්ද? 

මේ වගකීම මා සතු නොවේ, ඔබ සතු වේ. එබැවින් තම විනය නිවැරදි කර ගන්න. ඉහත කරුණු ඔබගේ දරුවන්ට පහදා පස්පවින් වැළකෙන සිංහල දරු පරපුරක් බිහි කිරීමේ උත්සාහවත් වන්න.

මෙසේ අපගේ මුලික විනය සකස් කරගත් විට රටක් ජාතියක් වශයෙන් ආයතනික විනය ආදී සෙසු විනය පද්ධතීන් ස්ථාපිත කර ගැනීම ඉතාම පහසු වේ. 



2. ධනය ඉපයීම සහ භාවිතය: ගෘහ මුලිකයෙකු ලෙස ධනය ඉපයීම ඔබගේ යුතු කමයි. එනිසා ඔබ ධනය ඉපයීම සහ භාවිතය පහත පරිදි කල යුතුය. 

(සවිස්තර පැහැදිලි කිරීම සඳහා මේ ලිපිය කියවන්න: https://kaalama.org/read-blog/1448)

ඔබගේ මාසික අදායමෙන් 25% ක් සුදුසු ව්‍යාපාර ආදිය ධන ඉපයුම් මාර්ගවල යෙදවිය යුතුය. 

මෙහිදී ඔබගේ භාර්යාවට කාලය ඇත්නම් අතිරික්ත භෝග ගෙවත්තේ වගා කර, ඒ භෝග ජෑම් වර්ග, බීම වර්ග, විජලනය කල ආහාර ආදී වශයෙන් නිමි භාණ්ඩ ලෙස නිෂ්පාදනය සඳහා ඉතාම සුළුවෙන් ආරම්භ කර දියුණු කිරීමට ඇයව යොමු කිරීම සුදුසු වේ. ඒ නිෂ්පාදන අලවි කිරීම ඔබට සුදුසු වේ.  

විවිධ ව්‍යාපාරික ආයෝජනය හෝ ආරම්භය සඳහා බොහෝ අවස්ථා රටේ ඇතත්, ඔබට හෝ ඔබගේ පවුලට රටට නිෂ්පාදනයෙන් දායක විය හැකිනම් එය රටේ දළ ජාතික නිෂ්පාදනය ඔසවා ලෝකය හමුවේ ඉදිරිගාමී රටක් බවට අපේ රට පත්කර ගැනීමේ ජාතික වගකීමට බොහෝ සෙයින් උපකාරයක් වන්නේය. ඔබ රටට වටිනා පුද්ගලයෙක් වන්නේය. 

එබැවින් ඔබට හැකිනම්  "2030 වන විට විදේශ වෙළඳපොල අතික්‍රමණය කරන සිංහල Made in Ceylon ව්‍යවසායකයින් 10,000ක්" යන අපගේ ව්‍යායාමයට එකතු වන්න. 

ඔබගේ මාසික අදායමෙන් 25% ක් අනාගතය සඳහා ඉතිරි කල යුතුය. 

ඔබගේ මාසික අදායමෙන් 50% ක් ඔබගේ පවුලේ පරිභෝජනය සහ යුතුකම් ඉටු කිරීමේ යෙදවිය යුතුය.  

 

එක් වරම අපහසු බවක් දැනීමට ඉඩ ඇත, නමුත් ඉහත ලිපිය කියවා හොඳින් සිත පිහිට වුවහොත් කිසිසේත්ම නොකළ හැක්කක් නොවේ. ඔබ අනිවාර්යයෙන්ම කල යුත්තක් වේ. 

 

 

3. පවුල : හැමවිටම තම දරුවන්ට සහ භාර්යාවට අන් සියලු දෙනාටම පෙර ආදරය, රැකවරණය සහ ප්‍රමුඛතාවය ලබා දිය යුතුය. 

තම රැකියා ස්ථානය හෝ ව්‍යාපාරය දෙවන තැනත් ඉන් පරිබාහිර සම්බන්ධතා සඳහා තෙවන තැනත් ලබා දිය යුතුය. 

විශේෂයෙන්ම දරුවන්ට මහත් වූ සෙනෙහසක් නොසඟවා පෙන්විය යුතුය. ලබා දිය යුතුය. දරුවන් කැඩපතක් මෙන් ඔබ ඔවුන්ට ලබාදෙන සෙනෙහස ලෝකයා වෙත පරාවර්තණය කරනු ඇත. 

එවන් දරුවන් සිල් නොරැකම සත්ව හිංසාව, මත් ද්‍රව්‍ය, අන්සතු දේ ගැනීම ආදියෙන්  වැලකෙති.  දානයේ, පරාර්ථචාර්යාවේ සිත අලවා වාසය කරති. එනිසාම ලෝකයාගේ ආදරයට ගෞරවයට පත්‍ර වෙති. සාර්ථක මිනිසුන් බවට පත් වෙති. 



4. කණ්ඩායම : ඔබත් ඔබගේ පවුලත් පමණක් සකස් කිරීමෙන් නොනැවතී ඔබ අවම වශයෙන් මිතුරන් තිදෙනෙකු මේ ප්‍රතිපත්තිවල ඔබගේ ආදර්ශය යටතේ පිහිටවිය යුතුය. 

ඒ ඔබගේ කණ්ඩායම වේ. ඔබ ඔවුන්ට මේ කාලාම ප්‍රතිපත්ති පැහැදිලි කර දිය යුතුය. මග පෙන්විය යුතුය. 

ඔවුන්ද තම තමන් යටතේ ඒ අයුරින්ම කණ්ඩායම් සකස් කර කාලාම පරපුර වැඩි දියුණු කරන බවට වග බලා ගත යුතුය. 



ස්තුතිය

මෙම ලිපිය කියවීම සඳහා ඔබ ගතකල කාලයට බොහොම ස්තුති.

මෙවැනි සමාජයක් ඔබට සැබවින්ම ගොඩනැගීමේ හැකියාව ඇත. ඒ ඔබ තනිව ඔබට අදාළ ප්‍රතිපත්ති සතර ක්‍රියාත්මක කිරීමෙන් මිස ලෝකයා හෝ දේශපාලකයා නිවැරදි කිරීමට උත්සාහ දැරීමෙන් නොවේ. 

තීරණය ඔබ අතේ ම පමණයි.

අක්ෂර වැරදි ආදිය සියල්ලටම සමාවන්න. මෙය දළ පිටපතයි.

 

ආචාර්ය බුද්ධික අදිකාරී

----//-----

by Dr. Buddika Adikari

B.Sc (Moratuwa), PhD (Surrey, UK)

© Buddika R B Adikari All Rights Reserved.

 

 

Android APP එක මෙතැනින් බාගත කරන්න

 

කාලාම FAQs 

 කාලාමය යනු කුමක්ද?

 නොමිළේ ලබා දෙන "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාව කොහෙද තියන්නේ?

 කාලාම Android APP එක බාගත කරන්නේ කොහොමද?

 විමධ්‍යගත ආර්ථික සැලැස්ම කියන්නේ මොකක්ද?

 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාව කියන්නේ මොකක්ද?

 කාලාම ප්‍රතිපත්ති හෙවත් ලාංකීය සංස්කෘතික සහ සාමාජිය ප්‍රතිසංස්කරණ යෝජනාව කියන්නේ මොකක්ද?

 

මම ව්‍යාපාරිකයෙක්, 

  මුලික අලවි සැලැස්මක් සහ "ස්ථාවර Customer Base" එකක් ගොඩනගන්නේ කොහොමද?

 මම Online Shop එකක් හදන්නේ කොහොමද?

 මම මගේම Customer Base එකක් හදන්නේ කොහොමද?

 මගේ දැන්වීම් කාලාම Market එකට එකතු කරන්නේ කොහොමද?

 මට කාලාමයේ තියන විශේෂ ව්‍යාපාරික අවස්ථා මොනවද? (ව්‍යාපාරික අවස්ථා 25ක්)

 

 

Enter with Facebook Login